Tuesday, April 18, 2017

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය සියල්ලන්ට යුක්තිය ඉටුවේවා!!!



මම මිනිසෙක් මි.. හදවතක් ඇති මිනිසෙක් මි... මිනිස්කම් දැනෙන, සිත්පිත් ඇති මිනිසෙක් මි..
මම මිනිසුන්ට ආදරය කරමි... එබැවින් දසමසක් කුසේ දරා මා හැදු, ලේ කිරිකර පොවා මා වැඩු, ඇකයේ හොවා මා නැළවූ මගේ ආදරණීය අම්මා, කුණුකන්දක් යට අවසන් ගමන් යනවා දකින්නට මම අකැමැත්තෙමි... දෑතේ කරගැට එනතුරු, දෙපයේ නහර ඉලිප්පෙන තුරු, දහදිය හෙළා මා පෝෂණය කළ මගේ තාත්තා කැලෑ සතෙකු සේ අමතක කර දමනු ලබනවාට අකැමැත්තෙමි.. එක බඩවැල කඩාගෙන ආ මගේ සොහොයුරා, සොහොයුරිය කුණු බෑග් එකක් ලෙස වළලා දමනවාට අකැමැත්තෙමි... ආදරයෙන් මා වැළඳගත් මගේ පෙම්බර සැමියා, බිරිඳ, කාත් කවුරුවත් නැති කුණු පිඬක් ලෙස සඟවා දමනවාට මම අකැමැත්තෙමි...

මීතොටමුල්ල ඛේදවාචකය, අනතුරක් නොව මිනීමැරුමකි.. කොළඹ කුණු කන්ද දැක දැකම, ඒ නුදුටුවා සේ දෑස වසාගෙන සිටි, කුණු කන්දෙන් මුදල් ඉපයූ, කොමිස් ගැසූ කාලකන්නින් විසින් මරාදමන ලද මිනිස් ජීවිත ගණන තවමත් නිශ්චිත නැත... කුණු කන්දෙන් මරාදමන ලද මිනිස් ජීවිත ගණන 20-30 පමණ බව ආණ්ඩුව කියති.. එහෙත් කන්දට යට වී කඩාවැටුණු ගෙවල් ගණනම 100කට වැඩි ය.. මේ ගෙවල් 100යේ සිටියේ මිනිස්සු 40ක් ද? නැත!

අතුරුදන් වූවන් සොයාගැනීමට තව ඉතිරිව ඇත්තේ 10ක් පමණක් බව ද, ඒ 10 දෙනාගේ මළසිරුරු සොයාගත් පසුව මළසිරුරු සෙවීම නවතා දමන බව ද ආණ්ඩුව පවසයි... දෙවියන්ගේ නාමයෙන් තොප මරාදමන ලද ඒ අහිංසකයන්ට අවසන් ගෞරව වත් දක්වන්නට අපට අයිතියක් නැද්ද?? අපේ අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මේ නරාවලේ ජීවත්ව ඉන්නා තාක් කල් තොපි උන් දෙස ඇහැක් අර නොබැලු බව ඇත්ත ය... දැන් උන් මළගම් ගිය පසුව වත් අපට උන්ගේ මුහුණු බැලීමට වත් අයිතියක් නැද්ද? නැත!! තොපිට එහෙම ලේසියෙන් ගැළවෙන්න අයිතියක් නැත...!! අපේ උන්ගේ ජීවිත අපට ආපසු දෙන්නට තොපට බැරි බව අපි දනිමු... එහෙත් අඩු වශයෙන් බදාගෙන හඬන්නට වත් අපේ ලේ නෑයන්ගේ මළකඳ වත් අපට දීපියවූ!! තොපේ මුළුමහත් ශක්තියම යොදවා හෝ හාරපියවූ!! රෑ දවල් නොබලා, නොකා නොබී හෝ හාරපියවූ!! අපෙන් උදුරාගත් අපේ උන්ගේ මළකඳ වත් අපට ලැබෙන තුරු හාරපියවූ!!

ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම වළක්වනු පිණිස ආණ්ඩුවේ කුණු කල්ලිය, පවු කන්දට යටවී මළගියවුන්ට අවසන් ගෞරව වත් නොදක්වා මිහිදන් කරන්නට සැරසෙන මේ මහා අපරාධයට එරෙහිව මේ සටහන මම මගේ වෝලය මත තබමි.. ඔබත් හදවතක් ඇති මිනිසෙක් නම් කරුණාකර මට සහය දෙන්න.. ෂෙයාර් නොකරන්න... කොපි කර පේස්ට් කරන්න... හැකිතාක් හඬ නගන්න... අනුන්ගේ පවුවලට යටවී මියගියවුන්ට ඔබට දිය හැකි හොඳම අවසන් ගෞරවය ඒ ය...

කොපි කරගත්තේ Supun Jayaweeraගේ වෝල් එකෙනි...

#meethotamulla #giveRespect #lastRights

No comments:

Post a Comment