මම ඔබව කවදාවත් දැකලා නැහැ... කතාවක් අහලත් නැහැ...
අඩුම ගානේ, ඔබේ කතාවක් කියවලාවත් නැහැ...
ඒත්, ඔබ මම ගරු කරන පුද්ගලයෙක් විදියට හැමදාම හිටියා...
ලෝකෙම ලොක්කගේ අල්ලපු ගෙදර ඉඳගෙන,
ලොක්කාගේ පදේට නටන්නේ නැතුව,
ඔබේ පදේට ඔබ නටද්දි,
මගේ ලෝකයේ ඔබ වීරයෙක් උනා...
ඔබ විශ්වාස කරපු දේශපාලන දර්ශනය,
මම එකහෙළා විශ්වාස නොකරත්,
ඔබේ දේශපාලනය,
මගේ දේශපාලනය එක්ක සමපාත නොවුනත්,
හැමදාම මම ඔබේ කඳවුරේ හිටියා...
ඒ ඔබ ඔබම නිසා...
අද ඔබ නැති උනාම,
ඒ සන්තෝසෙට,
කිරිබත් කන අය, රතිඤ්ඤා පත්තුකරන අය,
ඔබේ තටෙත් ඇති...
ඒ දේශපාලනයේ හැටි...
පරිනත නායකයෙක් වෙච්ච ඔබ,
ඒ බව දන්නා බව මම දන්නවා...
එසේනම් මගේ ආදරණීය මිත්‍රයා,
හියුගෝ චාවේස්....
අපි හැමෝම යන ගමනක්,
ඔබ අපිට කළිං ගියා...
ආයෙත් කවදාකහරි දවසක,
ඔබත් අපිත් හමුවේවි...
අන්න එදාට,
ලොක්කාගේ පදයට නටන්නේ නැතිව,
ඔබේ පදයට නටන ඔබ දිහා බලාගෙන,
සන්තෝසෙන් ඉන්නං...
ඔබට සුබ ගමන්...
වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මෙලොවින් සමුගෙන වර්ෂ 4ක් පිරෙන මේ මොහොතේ, 2013 වසරේදී ඔහුගේ අභාවය වෙනුවෙන් ලියූ සටහනකි...
No comments:
Post a Comment