Tuesday, September 26, 2017

IRAJ Productions අපිට එපා | Say NO to IRAJ

 


IRAJ Productions ආයෙත් වතාවක් දෙබරෙට ගල් ගසලාය. There is no such thing as Bad Publicity කියලා කිව්වේ නිකං නොවනා බව Iraj Weeraratne ඉතා හොඳින් දන්නා බව පැහැදිලිය. මේ ලියන අකුරු ටිකෙන් ඉරාජ්ට හෝ ඉරාජ් ගේ පබ්ලිසිටි ප්‍රොපගැන්ඩාවට මොනම විදියක හෝ සහයක් ලැබුනත් නැතත්, මේ වෑයම ඔහුගේ තුප්පහි මාකටිං ගැන මගේ සත පහ ඔබට කියන්නට ය. 

මියුසික් වීඩියෝ එකේ නම, ඒකේ රඟපාන අය, උපමාව උපමේය මේ වෙනකොටත් ඔබ හැමෝම දන්නවා ය. මේ පාර ඉරාජ්ගේ ඉලක්කය, මුළු රටේම ප්‍රශංසාවට, කීර්තියට පත් වූ කෘතහස්ථ සංගීතවේදියාව ය. තමන්ගේ කටහඬෙන්, සංගීතයෙන් දශක කීපයක් මුළු රටක් සනහා ලූ අපූර්ව මිනිසාව ය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඒක පුද්ගල සංගීත ප්‍රසංග ගණනක් සාර්ථකව පැවැත්වූ සහ ස්වකීය ජනප්‍රියත්වයේ උපරිමයේදී වේදිකාවෙන් බැස ගිය පුද්ගලයාව ය. වයස අවුරුදු 75ක් වුවත්, අවුරුදු 35දී ගායනා කළ ජවයෙන්ම පෞර්ෂයෙන්ම තවමත් රසිකයන් පිනවනා මහා ගාන්ධර්වයානන්ව ය. ඉරාජ් මේ පාර අල්ලා ගත්තේ වික්ටර් රත්නායක ව ය.

වික්ටර් ගායනා කළේ සුභාවිත ගීතය ය. වික්ටර් නිර්මාණය කළේ සුභාවිත සංගීතය ය. ප්‍රේමකීර්ති ලියා වික්ටර් සංගීතවත් කරමින් ගායනා කරන "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය අදටත් මේ රටේ අංක එකේ මව්ගුණ ගීතය ය. වෙසක් පොසොන් කාලෙට රට පුරා ඇහෙන බෞද්ධ ගීතවලින් හරි අඩක් වික්ටර් සංගීතවත් කළ හෝ ගායනා කළ ගීත ය. ප්‍රේමය, විරහව, සතුට, දුක මේ ඕනෑම මනෝභාවයක් අත්විඳින වෙලාවකදී හිතට එන, මුමුණන ගීතවලින් බහුතරයක් වික්ටර් ගායනා කළ ගීතයන් ය. සංගීතවත් කළ ගීතයන් ය. අදටත් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල, ගෘහස්ථ සිංහල සංගීත සංධ්වනි සඳහා වැඩිම මිලක් අයකරන්නේත් වික්ටර් ය. ශ්‍රී ලංකාවේ ගීතයේ වික්ටර් රත්නායක සළකුණ අන්න එහෙම එකක් ය. අද වික්ටර්ව විවේචනය කරන ඉරාජ්ලා අපේ රටේ සංගීතය වෙනුවෙන් කෙරුවේ මොනවාද කියා මම ආයෙත් ඔබෙන් අහනවා ය.

වික්ටර් සිදුකළේ ගීත ගායනා කිරීම විතරක් නොවේ ය. සුභාවිත ගීතය රැකගැනීම, ඉඳිරියට ගෙන යෑම ගැනත් වික්ටර් කතා කෙරුවේය. පාසැල්වල, විශ්ව විද්‍යාලවල දේශණ පැවැත්වූයේ ය. ඒ වෙනුවෙන් පුවත්පත් තීරුලිපි ලීවේය. පොත් ලීවේ ය. ඔහුගේ ඒ සමහර අදහස් තියුණු ය. අසා සිටීමට අපහසු ය. "ජරා ගීත කියනවුන්ගේ දිවවල් කපා දැමිය යුතුය" යි වරෙක වික්ටර් කීවේ ය. ඒ අදහස් හා මේ ලියන මමත් 100%ක් එකඟ වෙන්නේ නැති ය. නමුත් එළෙස කියන්නට වික්ටර්ට ශුද්ධ වූ අයිතියක් තියෙන්නේ ය. ඒ ඔහු මේ රටේ සුභාවිත සංගීතය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය නිසා ය.

මීට මාස කීපයකට පෙර සිදු වූ වික්ටර් ගේ දෙවන විවාහය ගැන ඒ දවස්වලත් ලොකු කතාබහක් ඇති වූයේ ය. වික්ටර් විවාහ වූයේ නීත්‍යානුකූලව ය. ඒක ඔහුගේ අයිතියක් ය. වික්ටර්ගේ පෞද්ගලික ජීවිතය මට අදාළ නැත්තේ ය. ඒ වගේම ඒක ඉරාජ්ටත් අදාළම නැත්තේ ය. 

මෑත කාලීනව ඉරාජ් හදපු බොහෝ මියුසික් වීඩියෝ රටේ ටෙලිවිෂන්වල ප්‍රචාරය වූයේ නැත්තේ ය. රේඩියෝ චාට් ෂෝවලට ඇතුල් වූයෙත් නැති ය. ඔහු ඒවා හදන්නේත් ටීවී ෂෝ ඉලක්ක කරගෙන නොවේ ය. ඔහුගේ එකම ඉලක්කය YouTube එකේ හිට්ස් සහ විව්ස් ය. ඒ හිට්ස් සහ විව්ස් වෙනුවෙන් ඔහුට ලැබෙන ගාණ ගැන අදහසක් මට නැත්තේ ය. නමුත්, තමන්ගේ බඩ ගෝස්තරේ වෙනුවෙන් ඔහු අද වික්ටර්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගසා ඇත්තේ ය. ඉරාජ් එක්ක අපිට ප්‍රශ්න ඇති වන්නේ අන්න එතන දීය. 

මගේ ජීවිත කාලය පුරා බොහෝ අවස්ථාවලදී මම වික්ටර්ගේ ගීතවලින් රස වින්දනයක් ලබා තියෙන්නේ ය. මේ කියවන ඔබත් ඒ වින්දනය ලබා තිබෙන බව මට විශ්වාස ය. වික්ටර් තව අවුරුදු කීයක් ජීවත් වේදැයි කියන්න මම දන්නේ නැති ය. ඔහු මියගිය දවසක ඔහු වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කරනවාට වඩා ජීවත්වන වික්ටර්ව සයිබර් අවකාශයේ හිංසාවට පත්කිරීමට විරුද්ධව පෙනී සිටීම වැදගත් බව මගේ කියවීම ය. මේ මිනිසාව අපි රැකගත යුතු ය. ඉරාජ්ගේ මේ තුප්පහි මාකටිංවලට අපි විරුද්ධ විය යුතුම ය. මේ ඒක සිදුකළ යුතු වෙලාව ය.

මේ සටහන කියවන ඔබගෙන් මම එකම එක ඉල්ලීමක් කරන්නේ ය. ඒ තව එකම එක පාරක් ඉරාජ් ගේ වීඩියෝව නරඹන්න කියලා ය. ඒ නරඹන්නේ රසවිඳින්න හෝ බනින්න හෝ නොවේ ය. ඒ වීඩියෝ එක රිපෝට් කරන්න ය. වීඩියෝ එක රිපෝට් කරන විදිය පියවර සහිතව පහතින් ඇති ඡායාරූපවලින් තියෙන්නේ ය. තමන්ගේ ජීවිතයෙන් එක විනාඩි 05ක් මේ වෙනුවෙන් වියරම් කරන්නයි මම ඔබෙන් ඉල්ලන්නේ ය. ඒ විනාඩි 05ක කාලය කල්පයක් තරම් වටිනා බව ස්ථීර ය.


1. මුලින්ම ඔබගේ GMail එකවුන්ට් එකෙන් YouTube එකට ලොග් වෙන්න.
YouTube එකේ ඇති අදාළ වීඩියෝවට යන්න.
රතුපාට කොටුවෙන් පෙන්වා ඇති More ක්ලික් කරන්න.



2. එහි එන රතු පැහැති කොටුවෙන් දක්වා ඇති Report උඩ ක්ලික් කරන්න

3. Report this Video යන කොටසේ ඇති Hateful or Abusive content යන්න තෝරන්න. එහි ඇති මෙනුවෙන් Bullying යන්න තෝරන්න.

4. Timestamp Selected යන්නට රූපයේ පෙනෙනා අංක දෙක අනිවාර්යෙන්ම දමන්න. "ස" වෙනුවට 'ප' යන්න යොදාගෙන ඇති රූපරාමුව මේ නිශ්චිත වේලාවේදී දර්ශනය වේ.

5. මේ වීඩියෝව රිපෝට් කරන්න හේතුව ලෙස ඉතා කෙටියෙන් හෝ යමක් ලියන්න. This video abusing great artist's personal life ලෙස ලිවීම වුවත් ප්‍රමාණවත් වේ.


6. Submit කරන්න.
 
තමන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට එබෙන තුප්පහි ජීවන පුරුද්දට පුරවැසියන් වශයෙන් අපි විරුද්ධ විය යුතුම ය. මේ වචන ටික ලියුවේ ඒ වෙනුවෙන්ම ය.

කියවූ ඔබ සැමට බොහෝම ස්තූතියි ය.

Friday, September 22, 2017

නිදහස් මෘදුකාංග දිනය 2017 - #SFD17


ලෝක නිදහස් මෘදුකාංග දිනය - Software Freedom Day - යෙදෙන්නේ හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදාවටයි. මේ අවුරුද්දෙත් සැප්තැම්බර් 16 සෙනසුරාදා මේ ලෝකේ බොහෝ තැන්වල නිදහස් මෘදුකාංග දිනය බොහොම සාර්ථකව සහ උත්කර්ෂවත්ව සැමරීම සිදුකෙරුනා. 

ශ්‍රී ලංකාවේ නිදහස් මෘදුකාංග දිනය වෙනුවෙන් විශාලතම වැඩසටහන පැවැත්වුනේ NSBM Green University එකේදියි. Mozilla Campus Club - NSBM එකත් එක්ක Mozilla Campus Clubs - Sri Lanka එකේ අනිත් විශ්ව විද්‍යාලවල Mozilla Club එකතුවෙලා SFD17 නමින් ඒ වැඩසටහන බොහොම සාර්ථකව සංවිධානය කරලා තිබ්බා. 

නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන බොහෝ පිරිසක් වගේම නිදහස් මෘදුකාංගවලට ආදරේ කරන සහ නිදහස් මෘදුකාංග පාවිච්චි කරන බොහෝ දෙනෙක් ඒ වැඩසටහනට එදා සහභාගී වෙලා තිබ්බා. නිදහස් මෘදුකාංග පිළිබඳ විශේෂ දේශණ කීපයක්ම එදා දවසේදී පැවැත්වුනා. Malinda Alahakoon, Lasantha Priyankara, Iresh Chaturanga වගේ කීපදෙනෙක්ගේ බොහොම හරවත් අදහස් ඒකෙදි අහන්න දකින්න ලැබුණා. 

පිටපිටම දෙවෙනි අවුරුද්දටත්, NSBM Software Freedom Day වැඩසටහනේ ආරාධිත දේශණයක් සිදුකරන වගකීමක් මටත් පැවරිලයි තිබුණේ. සාම්ප්‍රදායික විදියට නැතිව බොහොම නිදහසේ පැයක කාලයක් පුරා සිදුකරපු මගේ දේශණයේ මාතෘකාව උනේ Software Piracy & Benefits of Using Free Software. එදා දවසේදී කරපු කතාව විනාඩි 7-8 පොඩි පොඩි කොටස් කීපයක් විදියට එඩිට් කරලා ආයෙත් YouTube එකට අප්ලෝඩ් කෙරුවේ පැයක වීඩියෝ එකක් බලන වැඩේ කළාතුරකින් ඇර බොහොම දෙනෙක් සිදුකරන්නේ නැති නිසයි. (එහෙම කරපු බොහොම හිතවත් මිතුරන් කීපදෙනෙකුත් හිටියා)

පල්ලෙහා තියෙන ලිංක් එකෙන් එදා මම සිදුකරපු කතාවට සවන් දෙන්න ඔබට පුළුවනි. අහලා බලලා හිතෙන දෙයක් කියන්න.

පළවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

හතරවෙනි කොටස

පස්වෙනි කොටස

හයවෙනි කොටස

හත්වෙනි කොටස

නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

Thursday, September 21, 2017

මමයි අම්මයි තාත්තයි


Udaya Dewamulle ව මට මුණගැහෙන්නේ ඉතාම අහම්බෙන්ය. ඒ හමුවට මග පෑදෙන්නේද මහ අමුතුම විදියකට ය. ඒ කාලයේ මම රාජකාරිය සඳහා පැමිණි වාහනයේ රේඩියෝවට අහුවෙන්නේ සිත FM පමණක් ය. ඒ වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක කරවන්නේ උදේ 8ට කිට්ටු වෙලාවකදී ය. රේඩියෝව අහනවා කිව්වාට එහෙම්මම අහන්නේත් නැතිය. රේඩියෝව ඔහේ කෑගහන අතර අපි අපේ කතාවල ය. එක දවසක් අනිත් දවස්වලට වඩා වෙනස් වූයේ එදා රේඩියෝවෙන් ඇහුණ හඬ නිසා අපේ කතා නතර කර රේඩියෝව අහගෙන ඉන්න අපිට හිතුන නිසා ය. පැහැදිලි ගැඹුරු පිරිමි කටහඬකින්, තප්පර එකසිය විස්සක් පුරා ඇහුන පණිවිඩයේ අහක දාන්න දෙයක් තිබුණේ නැති ය. එදා දවසේ සිට ගෙවුන හැම සතියේ දවසකම, උදේ 8ට විනාඩි දෙකතුනකට කළින් අපේ වාහනයේ සියළු කතාබහ නැවතුනේ ය. හැම දෙනාම රේඩියෝවට කන්දීගෙන හිටියේ තප්පර එකසිය විස්සක භාවනාවක් සඳහා ය. ඒ තප්පර එකසිය විස්සේ නම "පියවරක් ඉඳිරියට" ය. පියවරක් ඉඳිරියට තියන්න රේඩියෝවෙන් කතාකරපු ඔහු උදයා දේවාමුල්ල ය. 

උදයා දේවාමුල්ලව තවත් ෆලෝ කරන්නට මට සැර උවමනාවක් එන්නේ ය. ලෝකේ හැම හතරදෙනෙක්ගෙන්ම කෙනෙක් ෆේස්බුක් ඉන්නා නිසා මම උදයා දේවාමුල්ලවත් ෆේස්බුක් එකේ සොයන්නේ ය. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක දමා දවස් දෙකකට පසු ඔහු හා මම ඩිජිටල් මිතුරන් බවටද පත්වෙන්නේ ය. එසේ මිතුරන් වී ටික කාලයකට පසුව සිත FM ඔස්සේ පියවරක් ඉඳිරියට ඇහෙන්නේ නැති වෙන්නේ ය. ඊට හේතුව විමසා උදයා දේවාමුල්ල ට චැට් එකක් යැව්වේ මේ අවුරුද්දේ පෙබරවාරි 21වෙනිදා ය. ඒකට අදටත් උත්තරයක් නැත්තේ ය. කොටින්ම උදයා දේවාමුල්ල ඒක දැකලාවත් නැත්තේ ය. 

උදයා දේවාමුල්ලගේ ෆේස්බුක් ස්ටේටස් හැමදාම මට පේන්න පටන් ගත්තේ ගිය මාසේ ඉඳලා ය. ඒකත් අපූරු සිද්ධියක් ය. ආණ්ඩුවේ පොලිතීන් තහනම උදයා දේවාමුල්ල අල්ලාගන්නේ ඔහුගේ තැනින් ය. ඒ ෂොපින් බෑග් තහනම ලෙසින් ය. සැප්තැම්බර් පළවෙනිදා සිට පොලිතීන් තහනම් වෙන ආරංචිය ලැබුන දා සිටද කොහෙද උදයා දේවාමුල්ල ෆේස්බුක් එකේ ඒ වෙනුවෙන් දින ගනින්නේ ය. ඉතා අහම්බෙන් ඒ ස්ටේටස් එකක් ඇහැගැටුණ මම උදයා දේවාමුල්ල සමඟ යුනිකෝඩ් සංවාදයකට එළඹෙන්නේ ය. ෂොපින් බෑග් තහනමට පක්ෂව උදයා දේවාමුල්ලත් පොලිතීන් තහනමට විරුද්ධව මමත්, දවස් දෙකක් තිස්සේ සිදුකරපු ඒ සංවාදය තවමත් උදයා දේවාමුල්ලගේ ප්‍රොෆයිලයේ තිබෙනවා විය යුතු ය. අදටත් උදයා දේවාමුල්ල ෂොපින් බෑග් තහනම බලාත්මක කරන දිනය වෙනකම් ෆේස්බුක් එකේ දින ගනින්නේ ය. මම හැමදාම ඒ පෝස්ට් ලයික් කරන්නේ ය. 

උදයා දේවාමුල්ල ගැන මෙච්චර හෑල්ලක් ලිව්වේ ඇයි කියලා කියවන ඔබට හිතෙන්න පුළුවනි ය. මමයි අම්මයි තාත්තයි කියන උදයා දේවාමුල්ල ගේ අලුත්ම පොත එළිදක්වන්නේ සැප්තැම්බර් 23 අනිද්දා උදේ 9ට නිදහස් චතුරශ්‍රයේදී ය. එදා සිද්ධවෙන සාකච්ඡාව අහන්න වටින සාකච්ඡාවක් බව මට විශ්වාස ය. "මමයි අම්මයි තාත්තයි" පොත කියවන්න වටින පොතක් බව මට ස්ථීර ය. අනිද්දා උදේ 9ට විතර නිදහස් චතුරශ්‍රේ සිමෙන්ති පඩියක් උඩ මමත් වාඩිවෙලා ඉන්න එකත් ස්ථීර ය. "මමයි අම්මයි තාත්තයි" එක්ක එකතුවෙන්න මේ ආරාධනය ඔබ සියළුම දෙනාට ය. 

තමන්ව ටැග් කරලා තිබ්බත් උදයා දේවාමුල්ල මේ සටහන නොදකින්න තියෙන ඉඩ ඉතා වැඩි ය. ඒ ගැන මට දුකකුත් නැති ය. "පියවරක් ඉඳිරියට" තුළින් මම මගේ ජීවිතේට ගත්ත දේවල් බොහෝ ය. මේ උත්සාහය "පියවරක් ඉඳිරියට" වෙනුවෙන් කෘතගුණ දැක්වීම ය. නමුත් ඇත්තම කතාව නම්, ඒ කෘතගුණ දැක්වීමට මේ යුනිකෝඩ් බොහොම මදි ය. 

අනිද්දා උදේ 9ට නිදහස් චතුරශ්‍රේදී හමුවෙමු!

Thursday, September 14, 2017

Software Freedom Day 2017 - ඔබත් එන්න...




හැම අවුරුද්දෙම,
සැප්තැම්බර් මාසේ තුන්වෙනි සෙනසුරාදා යෙදෙන,
Software Freedom Day එක වෙනුවෙන්,
නිදහස් මෘදුකාංග දිනය සමරන වැඩසටහන්,
ලෝකේ ගොඩක් රටවල පැවැත්වෙනවා...

ඒ නිමිත්තෙන්,
අපේ රටේ පැවැත්වෙන,
ලොකුම නිදහස් මෘදුකාංග දින වැඩසටහනේදී,
Software Piracy ගැන,
Free Software පාවිච්චි කරන එකෙන්,
තමන්ට ලැබෙන Benefits ගැන,
කතා කරන්න,
සැප්තැම්බර් 16වෙනි සෙනසුරාදා,
දවල් 1.30ට,
NSBM හරිත සරසවියට,
මමත් එනවා...

ඔබත් එන්න...

Wednesday, September 13, 2017

සිංහල සබ්ටයිටල්



සිංහල සබ්ටයිටල් සහ ඒවගේ කොලිටි එක ගැන බොහෝ දෙනා බොහෝ තැන්වල බොහෝ කතන්දර කියනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ගැන මගේ සත පහ.

ඉංග්‍රීසි, හින්දි, දෙමළ හෝ වෙන ඕනෙම භාෂාවක ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දෙන එක ලේසි වැඩක් නෙමේ. තාක්ෂණිකව ගත්තත් ඒක මහ එපා වෙන, ඉතාම ඉක්මනින් කරන කෙනා අධෛර්යමත් වෙන, පොඩ්ඩ ගැස්සුනොත් වැඩේ ආයේ කෙළවරක ඉඳං පටන් ගන්න වෙන වැඩක්. ඒ වගේම මොනතරම් මැරිලා සිංහල සබ්ටයිටල් දුන්නත් ඒකෙන් තමන්ට ලැබෙන සතේක ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ඒ වැඩේ තනිකරම කරන්නේ තමන්ගේ හිතේ සන්තෝසේ වෙනුවෙන්. කොටින්ම කියනවනං,අද අපේ රටේ ඉන්න අතිබහුතරයක් සිංහල සබ්ටයිටල් හදන කොල්ලෝ කෙල්ලෝ කරන්නේ අතිං කාලා හරක් බැලිල්ලක්. 

ඕකේම තවත් පැත්තකුත් තියෙනවා.
ඒ තමයි සිංහල සබ්ටයිටල් එකක් හැදුවම අහන්න වෙන කතන්දර ටික. සමහර අය බොහෝම උවමනාවෙන් කැපවීමෙන් සබ්ටයිටල් හදනවා. තවත් සමහර අය ෆිල්ම් එක එකපාරක්වත් බලන්නේ නැතුවත් ඉංග්‍රීසි සබ්ටයිටල් ෆයිල් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා සිංහල සබ් ෆයිල් එක හදනවා. සිංහල සබ්ටයිටල්වලට තියෙන චෝදනා අතිශය බහුතරේකට මූලිකම හේතුව මම ඔය දෙවෙනියට සඳහන් කරපු කණ්ඩායමේ ක්‍රියාකාරකම්. සරළම කතාව මෙච්චරයි, සබ්ටයිටල් දෙන්න කළිං ඒ ෆිල්ම් එකේ ජීවත් වෙන්න ඕනේ. හැම සිදුවීමක්ම විඳින්න ඕනේ. ඒ වගේම ෆිල්ම් එක ගැන ක්‍රමවත් අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට තමයි පරිවර්ථනය කරන එක හරියට එන්නේ. ඉංග්‍රීසි වචන ටික ඒ අර්ථයෙන්ම පරිවර්ථනය කරන්න ගියාමත් හරි තේරුම එන්නේ නැහැ. පරිවර්ථනය කරන කෙනා ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. නිකංම සබ්ටයිටල් ෆයිල් එක දිග ඇරගෙන පරිවර්ථනය කරගෙන කරගෙන යන්න ගියාම ලොකු වැරදි සිදුවෙනවා. ඒක අපරාධයක්. පරිවර්ථනය කරන කෙනා තමන්ටම කරගන්න අපරාධයක්. පැය දෙකක ෆිල්ම් එකක සබ්ටයිටල් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. නමුත් මේ වගේ වැරදි නිසා ඒ කැපකිරීමේ වටිනාකම ඒ පුද්ගලයා විසින්ම 0ටම දමාගන්නවා.

මෙහෙම හිතන්න. ෆිල්ම්වලට සිංහල සබ්ටයිටල් දෙන්න ආස 10දෙනෙක් එක්කහු වෙලා ගෲප් එකක් හදාගෙන වැඩේ කරගෙන යනවා. මේ සෙට් එකේ 8දෙනෙක්ම ඉතාම කැපවීමෙන් මහන්සියෙන් සබ්ටයිටල් හදන අය. අනිත් දෙන්නා කරන්නං වාලේ වැඩ කරන අය. නරකම වැඩේ වෙන්නේ, ඒ නොසැළකිළිමත් දෙන්නාගේ අඩුපාඩු නිසා සමස්ථ කණ්ඩායමේම වැඩේ ගැන තියෙන මහජන විශ්වාසය නැතිවෙන එක. ඔය උඩින් අමුණලා තියෙන ෆොටෝ එකත් ඒ වගේ නොසැළකිළිමත්කමෙන් යුතු කෙනෙක් අතින් සිදුවෙච්ච වැරැද්දක්. ඒ වැරැද්ද කරපු පුද්ගලයා මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ සමස්ථ මහන්සියම එක වාක්‍යයක් නිසා අපතේ ගිහින් තියෙන හැටි ඉතාම ශෝචනීයයි. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් විය යුතුයි. ඒක වෙනස් කරන්න පුළුවනුත් සිංහලෙන් සබ්ටයිටල් හදන අයට විතරමයි. 

දැං කෙනෙක් අහන්න පුළුවන්, "ඉතිං මෙච්චර පොර ටෝක් දෙන එකේ උඹත් සිංහල සබ්ටයිටල් එකක් හරි හදපංකෝ" කියලා. ෆිල්ම් එකක් දෙතුන්පාරක් බලන්න, ඒ ෆිල්ම් එකේ හැම දෙබසක් ඇතුළෙම ජීවත් වෙන්න, ෆිල්ම් එක ගැන අධ්‍යයනයක් කරලා ලොකු අවබෝධයක් ලබාගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මට එහෙම කැපකිරීමක් කරන්න බැහැ. ඒ නිසා මම සිංහල සබ්ටයිටල් හදන්නේ නැහැ!

Sunday, September 10, 2017

ඩ්‍රෝන් යවපු ශ්‍රීපාලියේ ළමයි | Hey Sky, Here We Come (Vol. 02)



පහුගිය මැයි මාසේ 08 වෙනිදා අපි කීප දෙනෙක් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලේ Photography Society එකේ ළමයින්ට "ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි" ගැන දවසක වැඩමුළුවක් සිදුකෙරුවා ඔබට මතක ඇති. ඒ වැඩසටහනේ දෙවෙනි පියවර විදියට මාස 4කට පස්සේ පහුගිය සැප්තැම්බර් 08වෙනිදා අපේ කණ්ඩායම ඒ වගේම වැඩසටහනක් සිදුකෙරුවා හොරණ ශ්‍රී පාලී විද්‍යාලයේදී. 

ගියපාර වගේම මේ වතාවෙත් වැඩේ මූලිකත්වය ගත්තේ අපේ රටේ ප්‍රමුඛතම ඩ්‍රෝන් කැමරා ශිල්පියෙක් වෙන Thisara Madhuwantha (සිහින) මල්ලි. ඊට අමතරව Lasantha Priyankara, Chammika Perera අපේ සාමාජිකයො දෙදෙනාත් මෙදාපාරත් වැඩේට සම්බන්ධ වුනා. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් Dilhan Hakmanage මෙදාපාර සහභාගී වුනේ නැහැ. ඒ වගේම කාළගුණික අපහසුතා නිසා Lishan Puwakovita හදපු බොහොම මනරම් හෑන්ඩ් අවුට් ටික මේ පාරත් ළමයින්ට බෙදා දෙන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. 


ඉස්කෝලේ පැත්තෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත සිදුකෙරුවේ ශ්‍රීපාලී විද්‍යාලයේ ආදිශිෂ්‍ය 2000 කණ්ඩායමේ Calhara Dissanayake අපේ හිතවතා යි. ඇත්තම කතාව, කල්හාර නිසා තමයි මෙදාපාර මේ වැඩේ සිද්ධ වුනේ. මාස ගාණක් තිස්සේ දිගින් දිගටම අපිව සම්බන්ධ කරගෙන, මේ වැඩමුළුව තමන්ගේ ඉස්කෝලෙට ගෙනියන්න කල්හාර සිදුකරපු වැඩකොටස අතිමහත්. ඩෙංගු රෝගය, අයහපත් කාළගුණය කියන මේ හැම බාධාවක්ම පරාද කරලා එදා දවසේ වැඩමුළුව පවත්වන්න කල්හාරගේ අනුපමේය ධෛර්යයට හැකිවුන බව සඳහන් කරන්නම අත්‍යවශ්‍යයි. 







මෙදාපාර වැඩේට අපිට තිබ්බ ලොකුම බාධාව තමයි අයහපත් කාළගුණය. සැප්තැම්බර් 08වෙනිදත් කඩින් කඩ පොද වැසි වගේම ලොකු වෙලාවක් වැහැපු ගිගුරුම් සහිත මහ වැස්සත් ඩ්‍රෝන් උඩ යවන අදහස හීනයක් වෙන තරමට අපේ බලාපොරොත්තු ඈත් කෙරුවත්, කළගුණය ඒ තරම්ම අපිට අකාරුණික වුනේ නැහැ. ඉර එළිය පොඩ්ඩක්වත් හරියට වැටුනේ නැති උනත්, හැම දරුවෙක්ටම අවම විනාඩි 5ක විතර වගේ Flying Time එකක් ලබාදෙන්න ඒ වතාවෙදිත් අපිට හැකියාව ලැබුණා. සිහින මල්ලිගේ අදහස නම් ආධුනිකයෙක්ට ඒ කාලය බොහොම හොඳ ප්‍රමාණවත් කාලයක් කියලයි. 






ඊට අමතරව ඩ්‍රෝන් යවද්දි කළයුතු නොකළයුතු දේවල්, ඩ්‍රෝන් සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක් සතුව තිබිය යුතු ආචාරධර්ම ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම ඩ්‍රෝන් එක හැදිලා තියෙන විදිය, ඒකේ මූලික ක්‍රියාකාරීත්වය, ඩ්‍රෝන් එකේ ඇප් එකෙන් සිදුවෙන දේ සහ අනතුරක් කරගන්නේ නැතුව ඩ්‍රෝන් යවන විදිය ගැනත් සාපේක්ෂව ලොකු දැනුමක් ඒ දරුවෝ හැම කෙනාටම දෙන්න අපිට පුළුවන් වුනා. 

මේ වැඩේ කරන අපේ මූලිකම අරමුණ තමයි මේ ළමයින්ට ඩ්‍රෝන් කියන්නේ මැජික් එකක් නෙමේ කියන දේ පෙන්නලා ඒ අත්දැකීම ලබා දීම. ඈතින් ඉඳන් ඩ්‍රෝන් යවන විදිය බලාගෙන හිටිය ළමයින්ට ඩ්‍රෝන් එකක් උඩ යවන්න, කොන්ට්‍රෝල් කරන්න, ඒකෙන් වැඩ කරන්න කියලා එයාලට ඒක කරන්න දෙන්න. ඒ අරමුණ නම් ඉහටත් උඩින් සම්පූර්ණ උනා. 

කොළඹට කිට්ටු නිසාද කොහෙද, තමන් විසින්ම ඩ්‍රෝන් එකක් හදපු දරුවෝ දෙන්නෙක් එතනදී අපිට මුණගැහුනා. YouTube එකෙන් හදන විදිය ගැන සියළු දේ බලාගෙන, පිටකොටුවේ/මරදානේ රස්තයාදු වෙලා අවශ්‍ය බඩු අරගෙන බොහොම හොඳ නිමාවකින් යුතු ඩ්‍රෝන් එකක් හදපු දරුවෙක් එතන හිටියා. ඒ ඩ්‍රෝන් එක බොහොම හොඳට පියාසර කරන බවත් සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම ඒ ඩ්‍රෝන් එක fly කරලා අපි කීපදෙනාත් මාර වින්දනයක් ලැබුව බවත් සඳහන් නොකෙරුවොත් ලොකු අඩුවක්. අවුරුදු 17ක කොල්ලෙක් ඒ විදියේ වැඩක් ඒ තරම් සාර්ථකව කරන එක අපිට අනුව නම් ලොකුම ලොකු දෙයක්. ඒ දරුවගේ හැකියාව හොරණින් කොළඹට එනවනම්, ඔහුට යන්න පුළුවන් දුර අප්‍රමාණයි කියන එක විතරක් දැනට කියන්නම්. 




එතන හිටිය දරුවන් බොහෝදෙනෙක් ඩ්‍රෝන් එකක් ජීවිතේ පළවෙනි වතාවට අතින් ඇල්ලුවේ එදා. ඩ්‍රෝන් එකක් කොන්ට්‍රෝල් කරද්දි ඒ ළමයින්ගේ විතරක් නෙමේ ගුරුවරුන්ගේ පවා ඇස්වල තිබ්බ දීප්තිය, මුහුණෙන් පිටවෙන හැඟීම් විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ හැමෝම එදා ගෙවුන පොඩි වෙලාවෙදිත් ඔවුන් ලබාගත්ත අත්දැකීම නම් මහ මෙරකට වඩා විශාලයි.



ෆොටෝ බොහෝ ප්‍රමාණයක් කල්හාරගේ කැමරාවෙන් ගත්ත ඒවා. මගේ ෆෝන් කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයකුත් අතරින් පතර තියෙනවා. කල්හාරට බොහොම ස්තූතියි මේ මතකය සටහන් කරගත්තට. 


ආයෙත් දවසක රටේ තවත් කෙළවරක දරුවන් එක්ක ඩ්‍රෝන් වැඩමුළුවකදී මුණගැහෙමු.