Friday, February 24, 2017

කැස්බෑ සංරක්ෂණය සහ අපේ රට!


අපේ රටේ දකුණු පළාතේ වෙරළ තීරය දිගටම "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන" නමින් පවත්වාගෙන යන තැන් ගැන ඔබ විස්තර අසා දැන තියෙනවාට කිසි සැකයක් නැහැ. සාමාන්‍ය ගෙවල්, හෝටල් හෝ සිමෙන්ති ටැංකි දෙක තුනක් අටවගන්න ඉඩකඩ තියෙන ඔනෑම ගුබ්බෑයමක "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය" කියන බෝඩ් එකට මුවාවෙලා පවත්වාගෙන යන හොර ජාවාරම් ගුහා ඔය කළාපයේ බහුලවම දැකගන්න පුළුවනි.

පහුගිය අවුරුදු 20ක විතර කාලයක ඉඳලා "සංරක්ෂණය" කියන වචනෙට මුවාවෙලා පවත්වාගෙන යන මේ ව්‍යාපාරය, අපේ රටේ නීතියට අනුව සම්පුර්ණයෙන්ම වගේ වැරදි සහගත ක්‍රියාකාරකමක් වූවත් විවිධාකාර බලපුළුවන්කාරකම් සහිත පුද්ගලයන්ගේ ආධාර, අනුශාසනා, ආශිර්වාදය නිසා, අදටත් කිසිම බාධාවක් නැතුව සිද්ධ වෙන්නේ කැස්බෑවොන්ගේ හෝ අපේ කරුමෙකටම තමයි. 



පරිසරවේදීන් කියන විදියට ලොව සාගරවාසී කැස්බෑ විශේෂ හතෙන් පහක්ම බිත්තර දැමීම සඳහා අපේ රටේ වෙරළ තීරයන් කරා එනවා. මේ විදියට මුහුදු වෙරළේ කැස්බෑවෝ දාන බිත්තර එක්කහු කරලා ඒවගෙන් එන පැටව් මුහුදට මුදාහරින එක වගේම විවිධ අනතුරු නිසා ආබාධිත වෙච්ච කැස්බෑවෝ රැකබලාගැනීම තමයි "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින්" සිදුවෙන්නේ. මේ වැඩසටහන් නිසි ආකාර පාලනයකට යටත්ව සිදුකරවනවා තියා, රටේ ක්‍රියාත්මක වෙන නීතියට අනුවවත් නිසි ආකාරයේ නියාමනයක් සිදු නොවෙන නිසා "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ගුබ්බෑයම්" ඇතුළේ සිදුවෙන නොමනා ක්‍රියාකාරකම් ඉතා බොහෝ යි.

මේ සිදුකරන්නේ කැස්බෑ සංරක්ෂණයක්ද ?

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන මිනිස්සු, ඒ අවට ප්‍රදේශයේ සිටින ධීවරයන් ඇතුළු වෙනත් පුද්ගලයන් හරහා තමන්ගේ මධ්‍යස්ථානයට කැස්බෑ බිත්තර ගෙන්වා ගැනීම සිදුකරනවා. ඒ සඳහා බිත්තරයකට රුපියල් 30 ක පමණ මුදලක් ඒ ගෙනත් දෙන කෙනාට ලබා දෙනවා. ඒ වගේම බිත්තරේ අයිති කැස්බෑ විශේෂය අනුව මේ මුදල වෙනස් වෙනවා. පේන විදියටනම් මේ වැඩේ කිසි නරකක් නැහැ, නමුත් හානිදායක දේවල්වල මූලාරම්භය මේකයි.

එහෙම කියන්න හේතුව මොකක්ද?

පරිසරවේදීන් කියන විදියට ස්වාභාවිකව පවතින බිත්තර කූටීරයක් විවිර කර බිත්තර එලියට ගැනීමේදි කැස්බෑ බිත්තර නිරාවරණය වන පරිසර තත්වයන් විචලනය වීමකට ලක්වෙනවා. මෙය බිත්තරවල ගොනුවෙහි සංයුතිය වෙනස් වීමට බලපෑම් ඇති කරනවා. කැස්බෑවුන් කියන්නේ චලතාපී සත්ව කොට්ඨාශයක්. බිත්තර කුටීරය තුල පවතින උශ්ණත්වය වගේම බිත්තර ස්ථානගත වී ඇති ආනතිය බිත්තරය තුල ඇති කලලයේ ලිංගිකත්වය තීරණය කිරීමට බලපාන සාධක. ඒ වගේම බිත්තර කුටීරයේ ගැඹුර සහ හැඩය විශේෂය‍ෙන් විශේෂයට වෙනස්කම් දරණවා. නමුත් බිත්තර එකතු කර නැවත "සංරක්ෂණ මධ්‍යස්ථාන" ඇතුළේ වල දමන පුද්ගලයන් හට මේගැන සතේක අවබෝධයක් නැහැ. ඒ වගේම එයාලට මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට උවමනාවකුත් නැහැ. මේ නිසා බිත්තර ගොන්නකින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් අතරේ ලිංගිකත්වය‍ෙ අතිශයින් අසම ව්‍යප්ත අනුපාතයක් හටගන්නවා. එම නිසා සංරක්ෂණ මධ්‍යස්ථාන තුළදි බිත්තර වලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් 97% පිරිමි පැටවුන් වීම සහ ගැහැණු පැටවුන් අතිශයින්ම දුර්ලභ වීමද සිදුවී තිබෙනවා. මේ අවස්ථාව‍ෙන් ප්‍රයෝජන ගන්නේ සංරක්ෂණ මධ්‍යස්ථාන ජාවාරම්කරුවන්. ඔවුන් ගැහැණු පැටවුන් දුර්ලභ බැවින් ඉපදුනු පසුව සාගරයට මුදා හැරීම සිදු කරන්නේ නැතුව සිමෙන්ති ටැංකියක වසර පහක් පමණ කාලයක් තියා ගන්නවා. ඒ වගේම මධ්‍යස්ථාන තුළ හදන කෘතිම කුටීරවල නැවත බිත්තර තැන්පත් කිරීමේදි බිත්තර අතර දුර ප්‍රමාණය මිනුමට ලක් නොකිරීම හේතුවෙන් එක් බිත්තරයක උෂ්ණත්වය ලඟ ඇති අනෙකට බලපෑම් සිදුකරන අතරම දිලීර බැක්ටීරියා ආසාධන පැතිර ගිහින් මරණ අනුපාතිකය ඉහල දැමීමද සිදුවෙනවා. මේකද සංරක්ෂණේ?

බිත්තර සිද්ධිය විතරද සිදුවෙන්නේ?

පරිසරවේදීන් කියන විදියට ස්වාභාවික තත්වයන් වලදී බිත්තර කුටීරයෙන් ඉවතට පැමිණෙන කැස්බෑ පැටවුන් ඉතාමත් කඩිනමින් වෙරළේ සිට මුහුද කරා ඇදී ගොස් පැය 48 ක් පමණ එක දිගට පිහිනීම සිදුකරනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ බාලක උන්මාදය/ළදරු උන්මාදය (juvenile frenzy) විදියටයි. පරිණාමය විසින් දායාද කර ඇති ශක්තිවන්තයා පමණක් ජීවත්වීමට උචිත විමට නම් මේ කඩයිම කැස්බෑ පැටවුන් පසුකල යුතුමයි. මෙලෙස අඛණ්ඩව පැය ගනනාවක් පිහිනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්නේ බිත්තරයෙන් ලැබෙන පෝශණය මඟින්. ගැඹුරු මුහුද කරා පිහිනා යන මේ පැටවුන් විවේකය ලබන්නේ පැය 48 පසුවීමත් සමඟයි. ඉන්පසු ඔවුන් ආහාර සොයා යෑම අරඹනවා. මේ ගමන අතරතුර විවිධ උවදුරු මත විනාශ වන පැටවුන් සංඛ්‍යාව අධික වුවත් සැලකියයුතු ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය රැකගන්නවා. බිත්තරයෙන් එලියට පැමිණි විගස පාථිවියේ විද්‍යුත් චුම්බක තරංග තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නා මේ අපුරු සත්වයින් ලොව ගැඹුරුම සයුරු තීරයන්හි පිහිනා ගියත් නැවත බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාව නැමැති දූපතට නැවත පැමිණෙන්නේ එලෙස ග්‍රහණය කරගත් විද්‍යුත් චුම්බක තරංගයන් ඔස්සේයි.

කැස්බෑවොන්ගේ ජීවිතේ ස්වාභාවික සංසිද්ධිය එහෙමයි. නමුත් "සංරක්ෂණ මධ්‍යස්ථාන" බෝඩ් එකට මුවාවෙච්ච ජාවාරම්කාර ගුහා අයිතිකාරයෝ කරන්නේ මොකක්ද? එයාලා බිත්තරවලින් එලියට පැමිණෙන පැටවුන් කඩිනමින් මුහුදට මුදා හරිනු වෙනුවට දින කිහිපයක් සිමෙන්ති ටැංකියක කොටුකරගෙන තියාගෙන ඉන්නවා!!!

මේකෙන් කැස්බෑවොන්ට සිද්ධ වෙන හානිය කොයිවගේ ද?




හානි කීපයක් සිදුවෙනවා. අපි එකින් එක කතා කරමු.

1. අලුත උපන් පැටවාට ගැඹුරු දියඹ සොයා පිහිනීමට අවශ්‍ය ශක්තිය බිත්තරයෙන් ලබා දෙන්නෙ පැය 48 ක් වැනි කාල රාමුවකට. ඒ වෙනුවට සිමෙන්ති ටැංකියක ඔබ මොබ පීනමින් දවස් කීපයක් ගතකළ පැටවකුගේ ඒ ශක්තිය වැයවී හමාරයි. ඉතිං ඒ පැටියා ආයෙත් ගැඹුරු දියඹ සොයා පිහිනන්නේ කොහොමද? උචිතයා අනුචිතයා ඇතුළු සියල්ලෝම ජීවත් වීමට ඇති හැකියාව මේ නිසා අතිශයින්ම සීමිත වෙනවා.

2. සිමෙන්ති ටැංකියකට දමන්නේ එක එක විශේෂයන් වෙන වෙනම නෙමේ. හැම ජාතියකම ඉන්න පැටවු ඔක්කෝම එකට කොටුකරනවා. එවිට වර්ගයා නැසීම, භක්ෂනයට ගොදුරු වීම සුලභ යි. මේ ගැන තොරතුරු ලබාදුන් පරිසරවේදී මිත්‍රයෙක් කියපු විදියට මෙවැනි ටැංකි තුළ සිටින පැටවුන්ගෙ ගාත්‍රා වෙන එවුන් විසින් සපා කෑමට ලක්වී තිබීම සුලබ ලෙස දකින්නට තිබිලා. මේ හේතුවෙන් නැවත ජීවත්වීමට ඇති සම්භාවිතාව තවත් පහලට යන එක අහන්න දෙයක්ද?

3. සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් තියෙන ජාවාරම් ගුහා, මේ විදියට කුඩා පැටවුන් රඳවා ගන්නේ මුදල් අයකර සංචාරකයන්ට ඔවුන්ව මුදා හැරීමට ලබාදීම සඳහායි. ඒක සංචාරකයන්ට හරි විනෝදජනක අත්දැකීමක්. සමහර සංචාරකයන් මේ පැටවුන්ව අතාරින්න්නේ කෙළින්ම මුහුදටයි. නමුත් මීට කළින් කිව්ව පෘථිවි විද්‍යුත් චුම්බක තරංග ග්‍රහණය කරගැනීම සඳහා වෙරළ කඩයිම ඔවුනට වැදගත් වේ. ඒ සත්තුන්ට උතුර දකුණ මාරුකරලා මේ කරන්නේ සංරක්ෂණයක් ද?

4. පැටවුන් සාමාන්‍යයෙන් මුදා හැරිය යුත්තේ රාත්‍රි කාලයේදීයි. ඒත් මේ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් තියෙන ජාවාරම් ගුහාකාරයෝ සංචාරක ආකර්ශනය සඳහා මේ වැඩේ කරන්නේ දිවා කාලයේදී යි. මේ නිසා පැටවුන්ට ජීවත් වීමට ඇති හැකියාව තවත් අවමයි. මේකද සංරක්ෂණේ?

මේ ගැන අපේ රටේ තියෙන නීතිය කොයිවගේද?

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව 1972 වර්ශයේ සිට මුහුදු කැස්බෑවන් සඳහා ආරක්ෂාව ලබා දී තියෙනවා. ඒ අනුව දැන් පවතින සහ ක්‍රියාත්මක වෙන වනජීවි ආඥා පනතේ දැඩි ලෙස ආරක්ෂිත උරගයින් ලෙස දෙවන උප ලේඛනයට, අපේ රටට බිත්තර දාන්න එන කැස්බෑ විශේෂ පහම ඇතුලත් කර තියෙනවා. ඒ පණතේ 30(1) වගන්තිය අනුව මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ලඟ තබා ගැනීම, කොටස් ලඟ තබා ගැනීම ආදිය සපුරා තහනම්. 30(2) වගන්තිය අනුව අදාල වරදකරුවන්ට ලැබිය යුතු දඬුවම් පැහැදිලිව දක්වා තියෙනවා. එතකොට මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හොර ගුහාවල් නීත්‍යානුකූලද? උත්තරේ ඔබ දන්නවා!

මීට අමතරව අතිශයින්ම නීති විරෝධි විදියට වැඩුණු කැස්බෑවුන් රඳවා තබා ගැනීමත් මේ ජාවාරම්කාර හොරුන් සිදු කරනවා. ඒ විදියට රඳවා තබාගන්නා කැස්බෑවුන් අඩි 6×5, 4×4 ප්‍රමාණයේ සිමෙන්ති ටැංකි තුළයි ජීවත් වෙන්නේ. දවසට කිලෝමීටර් විශාල ගණනක් නිදහසේ පිහිනා යෑම උරුමය සහ අවශ්‍යතාවය කරගත් මේ සත්වයින් මෙලෙස නීති විරෝධීව තබාගන්නට ඉඩ ලබා දෙන්නේ කවුද?


අඩි 5X5 ටැංකියක සිරකර සිටින සුදු කැස්බෑවා


තවද එක් ජාවාරම්කාර හොර ගුහාවක (කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක) සම්පූර්ණයෙන් වැඩුණු සුදු කැස්බෑවකු රඳවා තබාගෙන සිටිනවා. කිසිම අබාධයක් නැති මේ සත්වයා මෙලෙස රඳවාගෙන ඇත්තේ ඇයි කියලා ඇහුවම ලැබුණ පිළිතුර උනේ, ඒ සතාව මුදා හැරියොත් මෝරුන්ට බිලිවෙනවා කියන එකයි. මීටර් 1.2 පමණ වන මේ කැස්බෑවා රඳවා ඇත්තේ උගේ පිටකටුවවත් නොවැසෙන තරම් ජලය ඇති අඩි 5×5 පමණ ප්‍රමාණයේ සිමෙන්ති ටැංකියකයි. ඇල්බිනෝවෙකුට ස්වභාවධර්මය‍ෙන් ඇති උරුමය ඌට ස්වභාවධර්මයත් එක්ක විසඳා ගන්නට ඉඩ නොදී මේ කරන විකාර වැඩේ මොකක්ද? සාමාන්‍යයෙන් වසර 300 පමණ ආයු ඇති මේ සත්වයන්, ඌට හැරෙන්නවත් ඉඩ නැති ටැංකියක හිරකරගෙන ඉන්න ඇති අයිතිය මොකක්ද? ජාවාරම්කාර හොර ගුහාවක අයිතිකාරයෙක්ට ඇල්බිනෝ කැස්බෑවකු තබා ගැනීමට ඇති නීති ප්‍රතිපාදන මොනවාද?


අඩි 5X5 ටැංකියක සිරකර සිටින සුදු කැස්බෑවා


මිනිසුන් විදියට අපි සිදු කරන්න ඕනේ, මේ අකටයුත්තට විරුද්ධව කටයුතු කරන එක නොවෙයිද? මේ ජාවාරම්කාර හොර ගුහාවල් වසාදමන ලෙසට සහ ඒ ජාවාරම්කාරයන් නීතිය ඉඳිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට බලකරන එක නොවෙයිද? අපි මේ ගැන කතා කරන්නේ නැතිනම්, සංරක්ෂණයේ බෝඩ් ලෑල්ලට මුවාවෙලා මේ කරන මහ විනාශය ගැන කතාකරන්නේ කවුරුන් ද? හිතවතුනි, මේ අපරාධයට විරුද්ධව අපි පෙළගැසිය යුතු නොවෙයිද?

මේ සියළු විස්තර සහ ඡායාරූප ලබාදුන් Don Supzට අපේ ගෞරවණීය ස්තූතිය හිමිවෙනවා. මේ සියළු කරුණුවලින් අපිව දැනුවත් කළේ ඔහු යි. ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් නම්, මේ ගැන තවත් එක්කෙනෙක්ව හෝ දැනුවත් කරන එක යුතුකමක් විදියට ඔබ දකීවි කියලා අපි විශ්වාස කරනවා.

No comments:

Post a Comment