Tuesday, October 25, 2016

ඔබට බොහොම ස්තූතියි | Thank You Comrades

රද්දොළුගම කණිෂ්ඨ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් රද්දොළුගම ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැත්විනි. මේ සටහන ඒ තරඟාවලිය ගැන නොවේ.

පිට්ටනියේ මෙහා වැටේ ජීවත්වන මට පිට්ටනියේ පැවැත්වෙන අටෝරාසියක් ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච්, සංගීත සන්දර්ශන, කානිවල් ගැන අලුතෙන් කියන්නට අවශ්‍ය නැත. පහුගිය දශක 3ක කාලයේදී මම හැදී වැඩුනේ ඔය සියල්ල අසමින්, දකිමින් සහ විඳිමිනි. නමුත් ඒ දශක 3ක කාලයේදී ඉතාම කළාතුරකින් දකින්නට ලැබෙන දෙයක් ඊයේ දිනයේදී අත්වින්දෙමි. මේ සටහන ඒ වෙනුවෙනි.

ඕනෑම උත්සවයකින් හෝ ක්‍රීඩා තරඟාවලියකින් හෝ පසුව ක්‍රීඩාංගණය පිරිසිදු කිරීමේ කටයුත්ත රද්දොළුගමට තාම අලුත් අත්දැකීමකි. බොහෝ විට සිදුවන්නේ ක්‍රීඩාංගණයේ තැන තැන දමා ඇති කුණු එක තැනකට විශාල ගොඩක් ලෙස එකතු කර දමා බොහෝ සංවිධායකයෝ අත්පිසදා ගැනීමයි. ඊළඟට සිදුවන්නේ "සුපින්වත් රද්දොළුගම ජනතාව" ඒ කුණු ගොඩට තමන්ගේ නිවෙස්වල එකතුවෙන කුණුද හොර රහසේ සහ ප්‍රසිද්ධියේ ගෙනැවිත් දැමීමයි. මෙය චිරාත් කාලයක සිට රද්දොළුගම සිදුවන දෙයයි.

තරඟාවලිය පැවති දින තත්ත්වය
කණිෂ්ඨ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ සාමාජිකයන් මා මුලින් සඳහන් කළ පොදු කොටසෙන් වෙනස් ව්න්නේ මේ අවස්ථාවේදීය. සෙනසුරාදා දිනයේ පාන්දර 2ත් පසුවනතුරු අතිශය කාර්ය බහුල තැනක් වී තිබූ ක්‍රීඩාංගණය තුළ ඊයේ (ඉරිදා) සවස වන විට කුණු බින්දුවක් වත් නැති බව පමණක් සටහන් කිරීම මඟින් ඔවුන් වෙනස් වූයේ කවර හේතුවක් නිසාද යන වග මෙය කියවන ඔබට පැහැදිලි ඇතැයි සිතමි. කටාන ප්‍රාදේශීය සභාවෙන්වත් හරි ආකාරයකට කසළ බැහැර කිරීමක් සිදු නොකරන වේලාවකදී ඔවුන් ඒ වික්‍රමය සිදුකළේ මොන ආකාරයෙන්ද කියා විමසිය යුත්තේ ඔවුන්ගෙන්මය.

තරඟාවලියට පසු දින පැවති තත්ත්වය
ක්‍රීඩා කළත් නොකළත් ක්‍රීඩාංගණයට ආදරය කරන පුද්ගලයින් ලෙස අපට අවශ්‍ය වන්නේද මෙයයි. ඔබ ක්‍රීඩාංගණය පාවිච්චි කරන්නේ එය මේ තත්ත්වයෙන් පවතින නිසාය. භාවිතයෙන් පසුව එය පෙර තිබූ තත්ත්වයෙන් හෝ ඊටත් වඩා යහපත් තත්ත්වයෙන් යළි භාරදීමෙන් සුරැකෙන්නේ අප සැමගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තිබෙන ක්‍රීඩාංගණයයි. රද්දොළුගමට එපමණකට නුහුරු නුපුරුදු ඒ අත්දැකීම ගෙනෙන්නට මූලිකත්වය ගත්තේ නුඹලාය. අනෙකුත් තරඟ සහ උත්සව සංවිධායකයන්ගෙන්ද අප බලාපොරොත්තුවන්නේ එපමණකි.

මාගේ හිතවත් රද්දොළුගම කණිෂ්ඨ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සාමාජික සාමාජිකාවනි, මේ අකුරු ටික ලියැවුනේ ඔබ විසින් සිදු කළ ඒ යහපත් ක්‍රියාව වෙනුවෙන් ක්‍රීඩාංගණයට ආදරය කරන අප සැමගේ හෘදයාංගම කෘතඥතාවය පළකරනු පිණිසමය.

ඔබ සැමට බොහෝම ස්තූතියි.