Thursday, December 29, 2016

අමායා ලේක් පාලනාධිකාරියට ආදරයෙන්...


යාවත්කාලීන කිරීම - 2016-12-30 ප.ව 4.00
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉංජිනේරු එල්. ආර්. හේරත් මහතාගේ අත්සනින් යුත් ලිපියකින් අමායා ලේක් හෝටලයේ පාලනාධිකාරියට මෙම ගිණිකෙළි සංදර්ශනය වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා දමන ලෙස නියෝග කර ඇත. ඒ අනුව එම ගිණිකෙළි සංදර්ශනය අවලංගු කළ බව අමායා ලේක් හෝටලයේ පාලනාධිකාරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.

Amaya Lake, Dambulla හෝටලේ පාලනාධිකාරිය දෙසැම්බර් 31 රෑ සදා අමතක නොවන ෆන් එකක් එක්ක 2016ට සමු දී 2017ට ආයුබෝවන් කියන්නට ඉවෙන්ට් එකක් සංවිධානය කර තිබේ. ඒ ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් ඒ සදා අමතක නොවෙන අත්දැකීම ඔවුන් ලබා දෙන්නට තීරණය කර ඇත්තේ කණ්ඩලම වැවේ වැව් පිට්ටනියේය. ඒ වගේම ඒ සදා අමතක නොවන අත්දැකීම අලංකාර මල්වෙඩි සන්දර්ශනයකින් වර්ණවත් කරන්නටද ඔවුන් කටයුතු කරන බව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනේ සඳහන් විය. අපිට ප්‍රශ්න පැන නඟින්නේ ඔන්න ඔතැනදීය. 


කවුඩුල්ල මින්නේරිය වනෝද්‍යානට යාබද කලාපයේ පිහිටි කණ්ඩලම වැව සහ වැව් පිටිය බොහෝ සතා සිවුපාවුන් යන එන තැනක් බව අලුතෙන් සඳහන් කිරීම අනවශ්‍ය බව අපේ කියැවීමයි. එමෙන්ම රාත්‍රියට වැව් ඉස්මත්තටත්, වැව් පිටියටත් අලි ඇතුන් මෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බව ද Amaya Lake Resort, Dambulla හෝටලේ පාලනාධිකාරිය හොඳින්ම දන්නා බවද අපි දනිමු. 

හිතවත් මහත්වරුනි, ඔබට අවශ්‍ය ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය තරමේ ඉඩ කඩ සහ සුදුසු පරිසරය ඇති තැන් මේ රටේ ඕනෑ තරම් ඇත. කණ්ඩලම වැව් පිටියේ ඔය වගේ ආතල් එකක් දීමෙන් එයින් සතුටු වෙන මනුසතුන්ට වඩා දුකට කරදරයට හානියට පත්වෙන වනසතුන් ප්‍රමාණය අධික බව අපගේ කියවීමය.

හිතවත් හෝටල් පාලනාධිකාරියේ මහත්වරුනි, වනසතුන්ට දෙසැම්බර් 31, ජනවාරි 01, අප්‍රේල් 13/14 යන දවස්වල ඇති විශේෂ ආතල් නැති බව ඔබට මතක් කරමු. ඒ නිසා ඔය ගිණිකෙළි ආතල් එක කණ්ඩලමෙන් ගලවාගෙන කොළඹ/දකුණ හෝ සතුන්ට කරදරයක් නැති ඕනෙම තූත්තුකුඩියකදී පවත්වන ලෙස ඔබට ඉතාම කාරුණිකව දැනුම් දෙන්නෙමු.

සුබ අනාගතයක්...

Friday, December 16, 2016

උස් තැන් දැක හැකිලෙන්නේ...



ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පහරදෙන සිදුවීමක් අඩංගු වීඩියෝවක් සමස්ථ ශ්‍රී ලංකා ජන සමාජයම කැළඹුවේ දැනට දවස් තුන හතරකට කළිංය. රටේම අවධානය දිනාගත් ඒ සිදුවීම ගැන මගේ සත පහ එකතුවෙන්නේ මේ විදියටය.
"සද්ධන්ත දේහධාරී රැවුල්කාරයා එනවා දුටු විට අද නම් දෙකෙන් එකක් වෙන බව මම නම් දැනගත්තා" කියමින් ලියවුන පතරංග හෑලි පහුගිය ටිකේ ෆේස්බුක් එකේ ඕසෙට ශෙයා වෙනු අපිද දැක්කේය. ඒ ලියවිලි බොහෝමයක තිබ්බේ "මේ ප්‍රශ්න විසඳන රවී විජේගුණරත්නගේ විදිය" පිළිබඳ ලියවුන වීර කාව්‍ය ආකාරයේ යාං හෑලිය. ඒ රචකයන් සෑම දෙනාම අඩුවැඩි වශයෙන් කර තිබුණේ නාවික හමුදාපතිවරයාගේ සහ ආණ්ඩුවේ පිට කැසීමය.

අදාළ ස්ථානයේදී මාධ්‍යවේදියාගේ මැදිහත්වීම ගැන සහ නාවික හමුදාපතිවරයාගේ මැදිහත්වීම ගැන තියෙන්නේ පොඩි අදහසක්ය. මාධ්‍යවේදී බුවා ඒ වෙලාවේ එතනින් ටිකක් එහාට වෙලා හිටියානම් හොඳය. නාවික හමුදාපතිතුමා එදා එතනට නෑවිත්ම හිටියානම් "ගොඩාක්" හොඳය. එතනට ඇවිත් ආණ්ඩුව කිව්ව විදියට "මුහුදු කොල්ලකාරයන්ගෙන්" නැව් දෙක බේරාගන්න තරම් දක්ෂකම සහ හැකියාව තියෙන නිලධාරීන්/නැවියන් නාවික හමුදාවේ ඕනේ තරම් ඉන්නවා බව අපේ වැටහීමය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යනු පොරක්ය. විශේෂ යාත්‍රා බලඝනය පිහිටවීම, ඒකේ නායකත්වය දැරීම, මුහුදු සටන් බොහෝ ගණනකදී ඉස්සරහින්ම සිට ඒවා මෙහෙයවීමේ සිට ඔහු මේ රට වෙනුවෙන් සිදු කළ මෙහෙය ගැන ලියන්න මේ යුනිකෝඩ් බොහොම මදිය. Most Decorated War Hero වෙන්න ලේසි පාසු බුවෙක්ට බැරිය. නමුත් ඒ කිරි බව්සරයට ගොම ලෝඩ් එකක්ම අතෑරීම රවී විජේගුණරත්න විසින්ම සිදු කළේය. කොමන් සෙන්ස් නැති එකාලා මහ පුටුවලට ගියාම ඔය වගේ ඉරට්ට ගොබ්බ දේවල් සිදුවෙන බව මිනිස්සු දැනගත යුතුය.

මේ එල්ලා තිබෙන ඡායාරූපයේ තිබෙන්නේත් නාවික හමුදාවටම අදාළ තවත් රට කළඹපු සිදුවීමක් ගැනය. ඒ සිද්ධිය උනේ මේ අවුරුද්දේම මැයි මාසයේදීය. සිද්ධිය ආයෙත් මතක් කරනවානම්, නැගෙනහිර පළාතේ මහ ඇමති බුවා ප්‍රොටෝකෝල් කේස් එකක් අල්ලගෙන නැගෙනහිර පළාතේ නාවික හමුදාවේ ලොකුම ලොක්කෙකුට බල්ලෙක්ට වගේ පළු යන්න බනින්නේ රටේ ජනමාධ්‍ය ඉඳිරියේ ප්‍රසිද්ධියේය. එදාත් නාවික හමුදාපතිවරයා විදියට හිටියේ අද ඉන්න නාවික හමුදාපතිවරයාමය. හැබැයි ප්‍රාදේශීය මාධ්‍යවේදී හාල් කෑල්ලකට "සද්ධන්ත දේහදාරී රැවුල් කාරයා" පෙන්නපු මහා පෞර්ෂය, එදා නම් අපි දැක්කේ නැතිය. අඩුම ගානේ ඒ ගැන ප්‍රකාශයක්වත් නාවික හමුදාපතිවරයාගෙන් සිදුවෙනු අපි නම් දැක්කේ නැතිය. හම්බන්තොට වරායේ සිද්ධිය අපි විග්‍රහ කරන්න ඕනේ ඔය සාම්පූර් සිද්ධියත් හිතේ තබාගෙනමය.

එදා සාම්පූර් කේස් එකේදීත් "හම්බන්තොට මහා පෞර්ෂයෙන්", "රවී විජේගුණරත්න ප්‍රශ්න විසඳන විදියෙන්", "පොඩි උන් බිලි නොදී මහ එකාම ගේම ගහන විදියෙන්" 10%ක දායකත්වයක් රවී විජේගුණරත්න දැක්වූවානම්, එදා සිංහල/දෙමළ/මුස්ලිම්/බෞද්ධ/කතෝලික/හින්දු/ඉස්ලාම් භේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ඔහුගේ සහයට ඔහු වෙනුවෙන් හිටගන්නවාය. එහෙනම් Most Decorated War Hero විතරක් නොව Most Beloved War Heroes ලිස්ට් එකේත් ඉහළින්ම වැජඹෙන්න ඔහුට හැකිවෙනු බව අපේ විශ්වාසය ය. නමුත් රටේ අවාසනාවට ඒ "මහා පෞර්ෂය" 2016-මැයි-සාම්පූර්දී ඒ විදියට රැස් විහිදුවේ නැතිය. ඒ ගැන තවත් කතා කරලාද වැඩක් නැති බව අපේ හැඟීමය.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මීට අවුරුදු බර ගාණකට කළින් මේ විදියට ලියලා තිබෙන බව මතක් කරමින් මේ ලියවිල්ල අවසන් කරනවාය.

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
__________ බව සිතමින්නේ
මගේ පුතා ලොකුවෙන්නේ

හිස්තැනට සුදුසු වචනය එකතු කරගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නටම බාරය.

Thursday, December 1, 2016

YAMU TV අපිට එපා | Say NO To YAMU TV



YAMU ටීවී එක දෙබරෙට ගල් ගසලාය. There is no such thing as bad publicity කියලා කිව්වේ නිකං නොවනා බව Indi Samarajiva ඉතා හොඳින් දන්නා බව පැහැදිලිය. මේ ලියන අකුරු ටිකෙන් YAMU එකේ පබ්ලිසිටි ප්‍රොපගැන්ඩාවට මොනම විදියක හෝ සහයක් ලැබුනත් නැතත් මේ වෑයම ඔවුන්ගේ තුප්පහි මාකටිං ගැන මගේ සත පහ ඔබට කියන්නටය.

වීඩියෝ එකේ ප්‍රධාන චරිතය වන අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඇත්තේය. ඒ ප්‍රශ්නය තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙමේය. ඉන්ටර්නෙට් එකට උන්වහන්සේ විසින්ම එකතුකරලා තියෙන වීඩියෝවල හැටියට මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ 2008/2009 කාලයේ ඉඳලාය. ඒ කාලේ ඉඳලාම උන්වහන්සේ මේ ගැන රජයේ සෑම තාරාතිරමකම නිලධාරීන්ට සහ දේශපාලක ඩෑල්වලට කියලා තියෙන බව පේන්න තියෙන්නේය.

හාමුදුරුවන්ගේ හැසිරීම ගැන ප්‍රශ්නයක් තියෙන්නේය, උන්වහන්සේ ඇග්‍රෙසිව් වැඩිය, කුණුහරුප කියන්නේය, භික්ෂුවකට නොගැලපෙන හැසිරීම් පළකරන්නේය කියන මේ කිසිම කෙනෙක් අවුරුදු ගාණක ඉඳං උන්වහන්සේ හැප්පෙන මේ ප්‍රශ්න ගැන දන්නේවත් නැතිය. ඒ ප්‍රශ්න සාමාන්‍ය මනුස්සයෙක්ව පිස්සෙක් කරන්න ප්‍රමාණවත් බව මේ විචාර දෙන කිසිවෙකුටවත් තේරෙන්නේත් නැත්තේය. නැගනහිර දිසාපතිනියට, හිටපු අමාත්‍ය කරුණා අම්මාන්ට (පොර ඇමතිකමේ ඉන්න කාලේ) මේ හාමුදුරුවෝ මේ ප්‍රශ්නය ගැනම සාමාන්‍ය ලීලාවෙන්, යහපත් සිංහලෙන් කතා කරන වීඩියෝ ඉන්ටර්නෙට් එකේම තියෙනවාය. ඒ ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව, අදාළ බලධාරීන් "තමංගේ එකාලගෙන් විතරක් දිගින් දිගටම පලිගන්නා විට" හැසිරිය යුතු වෙන ක්‍රමයක් තියෙනවාදැයි මම දන්නේ නැතිය. මේ හාමුදුරුවෝ කියන විදියට හේන් කොටනවා කියලා ඉඩම් සම්බන්ධව නඩු දාලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ට විතරය. ප්‍රාදේශීය ලේකම් බුවාට, දිසාපතිතුමියට පේන්නේ සිංහල මනුස්සයා අනවසරයෙන් හේනක් කොටන එක විතරමය. හැබැයි නැගෙනහිර බෞද්ධ සිද්ධස්තාන, බෞද්ධ උරුමයන් පහුගිය කාලයේ ඩෝසර් වෙච්ච හැටි, ඉඩම් කොල්ල කෑ හැටි මේ කොළඹ ඉන්න අපිත් යමරෙට දැක්කේය. ඒ කාලේ ඔය මඩකළපුවේ ප්‍රාදේශීය ලේකම් බුවා, දිසාපතිතුමිය එහෙම හිටියේ කොහේද දන්නෑය. හාමුදුරුවෝ මේ සටන් කරන්නේ ඒ තමන් දිවි ගෙවනා ප්‍රදේශයේ ඉන්න අසාධාරණයට ලක්වෙච්ච මිනිස්සු වෙනුවෙන් බව ඒ වීඩියෝ එකෙන් විතරක් මේ සිද්ධිය දැක්ක බොහෝ දෙනා නොදන්නේය.

අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ සමහර හැසිරීම් ගැන මේ ලියන මගේත් වැඩි පැහැදීමක් නැත්තේය. නමුත් උන්නාන්සේට විඳින්න වෙලා තියෙන දුක් ගැහැට උන්නාන්සේව ඒ තත්ත්වයට පත්කර ඇති බව මගේ කියවීමය. උන්නාන්සේ බුද්ධ පුත්‍රයෙක් බව සැබෑය. බුද්ධ පුත්‍රයන් මේ ආකාරයට හැසිරීම නොකළයුතු බවත් සැබෑය. නමුත් අපි හැමෝම පෘතග්ජන මනුස්සයෝය. නැගෙනහිර පළාතේ කෙළවරේ කැළෑවේ ඔය විදියට ඉන්නේ නැතුව ඌව, සබරගමුව, මධ්‍යම පළාත්වලට වැඩම කළානම් අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ටද බොහෝම සැප සම්පතින් යුත් ජීවිතයක් ගෙවන්නට හැකිවන බව ෂුවර්ය. නමුත් උන්වහන්සේ තෝරගත්තේ ඒ ජීවිතේ නෙමේය. උන්වහන්සේ තෝරගත්තේ තමංගේ ජාතියේ එකාලා එක්ක, තමන්ගේ උරුමය රැකගෙන කැළෑවට වෙලා ඉන්න එකය. නැගෙනහිර ඉන්න සිංහල සුළුතරය වෙනුවෙන් පෙනී ඉන්න එකය. ඒ කැපකිරීම කරන්න ලේසි පහසු මනුස්සයෙක්ට බැරිය. ඒ ගැන තවත් කතා කරන්න දෙයක්ද නැතිය.

දැං කතා කරන්නට ඕනේ YAMU TV එකේ ගේම පිළිබඳවය. YAMU උන්දැලා මේ කළේ ගේමක් නැතුව හිට් වෙන්න පුළුවන් ලේසිම ක්‍රමේට ගේමට බැස්ස එකය. YAMU බුවාලාගේ මාකටිං ටාගට් එක නං ලොවෙත් ගොඩය. නමුත් ගොඩ ගිය විදිය පට්ට පජාතය. තනි වචනයෙන් කියනවානං මේවා තුප්පහි මාකටිං ය.

මේ තුප්පහි වීඩියෝ එක YAMU එකේ බුවාලා කෙරුවේ, අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් උදේ රෑ හැප්පෙන ප්‍රශ්න ගැන යන්තම් හෝ අවබෝධයක් දැනුමක් තියාගෙනද නැද්ද කියා මම දන්නේ නැතිය. ඒ කොහොම වෙතත් YAMU ආයතනයේ ලොක්කා Indi Samarajeewaට මම යෝජනාවක් කරන්න කැමතිය. ප්‍රසිද්ධ ස්ථානවල වැඩිහිටි මිනිස්සු කුණුහරුප කියාගෙන පිස්සු කෙළින අවස්ථා ගැන Review වීඩියෝ කරනවානම්, ඒක පටන් ගන්න තිබ්බේ තමන්ගේ ගෙදරින්මය. ඉන්ඩි සමරජීවගේ තාත්තා වෙන මහාචාර්ය Rohan Samarajiva මහතා පබ්ලික් ෆෝරම්වල පිස්සු කෙළින අවස්ථා රූපවාහිනී චැනල්වල, වීඩියෝවලින් සහ සජීවීව ඇස්දෙකෙන්ම අපිනම් දැකලා තියෙනවාය. ඒ මහතා ශරීර අවයව සහ ලිංගික ක්‍රියාකාරකම් ගැන ග්‍රාම්‍ය කුණුහරුප නොකිව්ව්වත්, කියන්නේ කුණුහරුප බව සිහි බුද්ධියෙන් සිටින ඕනෙම කෙනෙක් දන්නවාය. ඒ වීඩියෝ එකකට මේ ජාතියේ Review එකක් කර YAMU TV ඔස්සේ ෆේස්බුක් sponsored ප්‍රචාරයක් ලබා දෙන ලෙස යෝජනාවක් මම ඉන්ඩිට කරන්නේය. මේ වගේ තුප්පහි මාකටිං වැඩවලට වඩා ඒ වගේ වැඩක් පට්ට ජෙනුයින් බව මගේ කියවීමය.

වීඩියෝ එකට පෙනී සිට තමන්ගේ රිවීව් දී දුවන කෝච්චියට බෙල්ල තිබ්බ YAMU කාර්ය මණ්ඩලයේ බුවාලාට/බුවීලාට කියන්න තියෙන්නේ මෙච්චරය. උඹලා කෙරුවේ රස්සාවේ කොටසක්ය. උඹලාගේ වැටුප කීයක්ද කියලා මම දන්නේ නැතිය. ඒ ගාණ කීය උනත්, මීට පස්සේ හෝ සමාජ සිද්ධි ගැන විචාර දෙන්න කළින් ඒ සිද්ධි ගැන සරළ Google Search එකක් කරලා පොඩි සයිස් research එකක් කරන එක වටිනවාය. එහෙම රිසර්ච් එකක් යන්තම් හරි කළානම් උඹලා බොහෝ දෙනෙක් ඉන්ඩිගේ මේ තුප්පහි ප්ලෑන් එකට අහු නොවෙන බව මට එකෙන්ම ෂුවර්ය. ඊළඟ වතාවේවත් මොළේ පාවිච්චි කරලා වැඩ කෙරුවෝතින් හොඳක් වෙන්නේ උඹලාටමය.

දැං කරන්න තියෙන්නේ එක දෙයක් විතරය. ඒ නම් මේ තුප්පහි වීඩියෝ එක ඉවත්කරගෙන අම්පිටියේ හාමුදුරුවන්ගෙන් සමාව ගන්නා ලෙස YAMU එකට බලකරන එක පමණක්ය. ඒ වැඩේ කරනකම් YAMU වෙබ් එක වර්ජනය කරන එකය. එහෙම නැතුව ඒ වීඩියෝ එකේ පෙනී හිටි එකාලා අල්ලගෙන උංට තඩිබෑවා කියලා වැඩක් නැත්තේය. ඊළඟ සුමානේ ඉන්ඩි වෙන ගෝතයෝ කීප දෙනෙක්ව දාලා තව වීඩියෝ එකක් කරන බව ලොවෙත් ෂුවර්ය.

මේ සටහනේ අරමුණ උනෙත් YAMU එකේ තුප්පහි මාකටිංවලට මගේ පිළිකුල් සහගත විරෝධය දැක්වීමය. මේ තුප්පහි මාකටිංවලට විරෝධය දක්වන්න කියා මම ඔබෙනුත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවාය.

කියෙව්ව ඔබ සැමට බොහොම ස්තූතියි ය.