Friday, July 28, 2017

තොරතුරු තාක්ෂණයෙන් තිරසාර අනාගතයකට - NIBM & MOE Joint Project



ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය (NIBM) සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව උසස්පෙළ සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණයෙන් තිරසාර අනාගතයකට තේමාව ඔස්සේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සම්පත් දායකයෙක් වශයෙන් පසුගිය දිනෙකදී මමත් සහභාගී වුනා. කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් 20කට ආසන්න සංඛ්‍යාවකින් ළමුන් 250කට ආසන්න පිරිසක් එදා සහභාගී වූ බවටයි දැනගන්නට ලැබුණේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳව බොහෝ දේ කතා කෙරුව ඒ සම්මන්ත්‍රණයේදී මගේ අදහස් දැක්වීම දිගහැරුණේ "නිදහස් මෘදුකාංග භාවිතා කළයුත්තේ ඇයි" තේමාව යටතේ. ඒ සම්මන්ත්‍රණයට සහභාගී වූ ළමුන් වගේම ගුරුවරුන්ගෙන් අතිබහුතරයක් පවා මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයේ ඇති වරද පිළිබඳව හරි හමන් දැනුමක් සහිතව සිටි අය නෙවෙයි.


2009 අවුරුද්දෙදි අපේ රටේ ඉන්ස්ටෝල් කරපු මෘදුකාංගවලින් 89%ක්ම මංකොල්ල කන ලද මෘදුකාංග. නමුත් නීතියේ ක්‍රියාත්මකවීම සහ රටපුරා සිදුකරපු වැටලීම් නිසා 2015 වෙනකොට අපේ රට ඇතුළේ භාවිතා වෙන මංකොල්ලකන ලද මෘදුකාංග ප්‍රමාණය 79%ක් දක්වා අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඉතා සාධනීය ලක්ෂණයක්. අපිට මෘදුකාංග සල්ලි දීලා ගන්න තරම් මුදල් හදල් නැතිවෙන්න පුළුවනි. හැබැයි එහෙමයි කියලා මංකොල්ලකාපු හෝ සොරකම් කරපු මෘදුකාංග පාවිච්චි කරන්න අපිට කිසිම අයිතියක් නැහැ!!!


ඒ සම්මන්ත්‍රණයට සහභාගී වූ සැමගෙන්ම මම ඉල්ලා සිටියේ එකම එක දෙයයි. ඔබේ පරිගණකයට Genuine මෘදුකාංගම ස්ථාපනය කරගන්න. ඔබට අවශ්‍ය මෘදුකාංගය මුදල් ගෙවා මිළදී ගන්න තරම් ශක්‍යතාවයක් ඔබට තියෙනවානම් එහෙම කරන්න. හැබැයි එහෙම හැකියාවක් ඔබට නැතිනම්, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා නොකර නිදහස් මෘදුකාංග භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ සිටි පිරිසගෙන් 10%ක් තමන්ගේ ජීවිතේ අවසාන වෙනකම් ප්‍රතිපත්තියක් විදියට තමන්ගේ පරිගණකයට Genuine මෘදුකාංග විතරක්ම ඉන්ස්ටෝල් කරගන්න කටයුතු කරනවානම්, මට ඒ ඇති හොඳටම.

මේ ඡායාරූප එදා දවසේ මතක සටහන් අතරින් කීපයක්.

NIBM හි වෙබ් අඩවියේත් මේ ගැන සටහනක් දමා තිබෙනු පසුව දුටුවා. මෙතනින් ඒ සටහනට පිවිසෙන්න පුළුවනි. 

Wednesday, July 26, 2017

සිපෙට්කෝ වර්ජනය - යහපාලනය සහ අපි!


හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව රජය යටතේ පවත්වාගෙන යැම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක්‌ සම්බන්ධයෙන් ඛණිජතෙල් සංස්ථා සේවකයන් විසින් ආරම්භ කළ වර්ජනය අද මේ මොහොතේදීත් ක්‍රියාත්මකය. එමෙන්ම ඒ වර්ජනයට ප්‍රතිචාර වශයෙන් රජයද මේ මොහොතේදී ඛනිජ තෙල් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්කර කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තයන් හමුදා භාරයට ගෙන ඇත්තේ ය. සිපෙට්කෝ සේවකයන්ගේ මේ සටන කුමක් සඳහා ද? 
මේ වෑයම ඛණිජතෙල් සේවකයන්ගේ වර්ජනය පිළිබඳව මගේ සතපහ ඔබට කියන්නට ය.

ඛණිජතෙල් පොදු සේවක සංගමය මේ වර්ජනය කැඳවන්නේ තමන්ගේ වැටුප් හෝ දීමනා වැඩිකරගැනීමක් වෙනුවෙන් නොවේ ය. එමෙන්ම තමන්ට ලැබීමට නියමිත වරප්‍රසාද හෝ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන්ද නොවේ ය. පැහැදිලිවම ඔවුන්ගේ ඉල්ලීම එකම දෙයක් ය. රටේ සම්පත් වෙන රටවලට විකුණා දැමීම සිදු නොකිරීම ඒ එකම ඉල්ලීම ය.

එජාප රජයයන් විසින් 1978 සිට සිදුකරන ලද ඊනියා පෞද්ගලීකරණයන් ගැන මීට ඉහතදීත් මවිසින් ඇති පදම් ලියා ඇත්තේ ය. ඒ කිසිම පෞද්ගලීකරණයකින් රටට හෝ රටේ ජනතාවට සිදුවූ සේවයක් හෝ ලැබුණ ප්‍රතිලාභයක් හෝ නැත්තේය. සිදුවුනේ එජාප නායකයන්ගේ සහ උන්ගේ ගජමිතුරු තක්කඩි කල්ලියේ මඩිය තරවීම පමණක් ය. ඊනියා සංවර්ධනය මුවාවෙන් එන මඩි තර කරගැනීම එකම අරමුණ කරගත් පෞද්ගලීකරණය ගැන කතා කරන්නවත් එපා ය. කොටින්ම මේ පරගැති #යහපාලන ආණ්ඩුව තිබෙන තුරු පෞද්ගලීකරණය ගැන හිතන්නවත් එපා ය.

2003දීද සිපෙට්කෝවෙන් විශාල කොටසක් Indian Oil Company හෙවත් IOC වෙත පෞද්ගලීකරණයේ නාමයෙන් පවරා දුන් අයුරු අපිට මතකය. රටේ හොඳම ඉන්ධන පිරවුම්හල් 100කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවට පිදුව හැටි අපිට මතකය. සිපෙට්කෝවේ ආදායම අඩුකිරීමට සහ සිපෙට්කෝව පාඩු ලබන ආයතනයක් බවට පෙන්වීමට උං ඒ කාලයේ ක්‍රියා කරපු ආකාරය අපිට හොඳටම මතකය.

සිපෙට්කෝවේ විධායක ශ්‍රේණියක රැකියාව කරන මගේ හිතවතෙකු පැවසූ ආකාරයට, එකී 2003 ගිවිසුම හේතුවෙන් මේ රටේ සිපෙට්කෝ පිරවුම්හල්වලින් පවා අළෙවිවන ඕනෑම ඉන්ධන ලීටරයක ආදායමෙන් 1/3ක් IOCයට ලැබෙන්නේ ය. සිපෙට්කෝවේ දෛනික ඉන්ධන අලෙවිය සහ තවත් බොහෝ වැදගත් ව්‍යාපාරික තොරතුරු ඔවුන්ගේ අභ්‍යන්ත පරිගණක පද්ධතිය හරහාම IOCයට ලබා ගත හැකි ය. මේ සිපෙට්කෝවේ රැකියා කරන්නන් පවසන දේ ය. මේවා සාමාන්‍ය සමාජයේ අපි දන්නේ නැති ය. නමුත් පාවාදීමේ තරම පැහැදිලි කරගන්නට මෙය හොඳටම ප්‍රමාණවත් බව මගේ කියවීම ය.

සිපෙට්කෝ සේවකයින් මේ සටනට බැස්සේ රටේ වටිනාම ආයතනයක මළගමට එරෙහිව ය. මේ වැඩවර්ජනය හේතුවෙන් පෞද්ගලිකව මම ද බොහෝ දුෂ්කරතාවයන්ට මේ මොහොතේදීත් මුහුණ දී සිටින්නේ ය. නමුත්, මේ මොහොතේ ගෙවනා සැපවත් ජීවිතයකට වඩා රටේ අනාගතය මට වටින්නේ ය. රටේ ආයතනවල පැවැත්ම මට වටින්නේ ය.

වර්ථමාන දුර්දාන්ත #යහපාලන රජය විසින් සිදුකරන සිපෙට්කෝව වැනසීම නැවැත්වීම වෙනුවෙන් තමන්ට කළහැකි ඉහළම දේ මේ මොහොතේදී සිපෙට්කෝ සේවකයන් සිදුකරනවා ය. උං සටන් වදින්නේ තමන් වෙනුවෙන් නොව රටේ අනාගතය වෙනුවෙන් ය. අපේ වගකීම මේ මොහොතේදී උං තනි නොකිරීමය.

සිපෙට්කෝ සේවක සහෘදයිනි, නුඹලාගේ මේ සටන ජයග්‍රාහීව අවසන් කරන තුරු අපි නුඹලා අතහරින්නේ නැති ය. රටේ හෙට දවස වෙනුවෙන් මේ සටන ජයගන්නට නුඹලාට යෝධබල යෝධ වීරිය ලැබේවායි අපේ එකම ප්‍රාර්ථනාවය.

සිපෙට්කෝ සටනට ජයවේවා!!!

Tuesday, July 11, 2017

ඩෙංගු, පරිපූරක ඇස්තමේන්තු සහ යහපාලනය!



මේ එල්ලා ඇති ඡායාරූපයේ දකුණු පස තිබෙන්නේ පසුගිය ජූනි 28 වෙනිදා මීගමුව මූලික රෝහලේ දර්ශනයක් ය. ඡායාරූපයේ මැද ඉන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාය. එතුමාගේ වම්පසින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ය. මීගමුව රෝහලේ වාට්ටුවක එකම ඇඳේ දෙපැත්තට පොඩි ළමයි දෙන්නෙක් නිදාගෙන ඉන්නේ ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී ඉතිරී ගොස් ඇති නිසාය. එක ඇඳක ලෙඩුන් දෙදෙනෙක් නොව ඇඳන් යට, රෝහල් බංකු මත සහ රෝහලේ කොරිඩෝර්වලද පැදුරු එලාගෙන, රෙදි එළාගෙන ලෙඩුන් සිටි ආකාරය අපි දැක්කේය. ඒ ඩෙංගු නිසා අපේ රටේ අපේ මිනිස්සු දුක් විඳින විදිය ය. 

ඡායාරූපයේ දකුණුපැත්තේ තියෙන්නේ පහුගිය ජූලි 08වෙනි සෙනසුරාදා දවසේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළවෙච්ච ප්‍රවෘත්තියක් ය. එයට අනුව ඇමතිවරු කීපදෙනෙකුට වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 20ක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉඳිරිපත් කර ඇත්තේය. මේ වාර්ථාවට අනුව සමහර ඇමතිලාගේ නිවාස "අලුත්වැඩියාවට" ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි 2කට අධිකය. සරළවම කියනවානං, මේ අපේ රටේ පාලක පැලැන්තිය මේ වෙලාවේ හැසිරෙන ආකාරය ය.

මිනිස්සු දහස් ගණන් මුදල් ගෙවා පෞද්ගලික රෝහල්වලින්, රුධිර පර්යේෂනාගාරවලින් රුධිර පරික්ෂා, ඩෙංගු පරික්ෂා කරගන්නේ රජයේ රෝහල්වල ඒ පරික්ෂාවන් කරන්නට ප්‍රමාණවත් තරම් පහසුකම් නැති නිසා ය. මිනිස්සු ස්වේච්ඡාවෙන් එක් රැස් වී මුදල් සම්මාදම් කර රජයේ රෝහල්වල වාට්ටුවලට මදුරු දැල් මිලදී ගෙන දෙන්නේ, වෙනත් වෛද්‍ය උපකරණ මිලදී ගෙන දෙන්නේ රජයට තමන්ගේ මහජනතාව වෙනුවෙන් කරන්නට අවශ්‍ය ඒ වගකීම නිසිපරිදි ඉටු කරන්නට නොහැකි නිසා ය. මිනිස්සු තමන්ගේ පෞද්ගලික ධනයෙන් පොදු ස්ථානවල ශ්‍රමදාන/දුමායන කටයුතු සිදුකරන්නේ රජයෙන් ඒ සඳහා ප්‍රමාණවත් තරම් අරමුදල් නොලැබෙන නිසාය. රටේ පොදු මහජනතාව වෙනුවෙන් වසංගත අවස්ථාවකදීවත් වෙන් කරන්නට රජයට ප්‍රමාණවත් තරම් මුදල් නැත්තේය. රජය වියදම් කරන්නේ නැත්තේ ඒ නිසාය.

නමුත් ඇමතිවරු දෙදෙනෙකුට, නියෝජ්‍ය ඇමතිවරයෙකුට, ආණ්ඩුකාරවරයෙකුට තවත් කීපදෙනෙකුට කෝටි ගණන් වටිනා වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට ඇති පදම් මුදල් තියෙන්නේය. ඇමතිවරුන්ට මේ වාහන අරගෙන දෙන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන පර්මිට් එකට අමතරව බව යළිත් අපි මතක් කරගත යුතුමය. සරළවම පවසනවා නම් පාලක පැලැන්තියට වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා ය.

මීගමුව රෝහලේදී "ඔබතුමන්ලාට අවශ්‍ය සියළු පහසුකම් අපි කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා" යැයි ජනාධිපතිතුමා පවසා ඇත්තේය. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස්ද එතුමා දෙන්නට ඇත්තේය. හැබැයි මීගමුව ඩෙංගු වාට්ටුවේ සහ රටේ රජයේ රෝහල් සියල්ලකම පාහේ අදටත් තත්ත්වය ජූනි 28වෙනිදා තිබූ තත්ත්වයමය. ඒකේ කිසිම වෙනසක් නැත්තේය. ඊට හරියටම සුමානයකට පස්සේ රුපියල් කෝටි 20ක් ඇමතිලාගේ පරිභෝජනයට වෙන් කරන්නේද ඒ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවය.

ඒ රුපියල් කෝටි 20න් වාට්ටු කීයක් හදන්න පුළුවනිද, වාට්ටු කීයකට ඇඳන් දෙන්න පුළුවනිද, පරික්ෂා කටයුතුවලට අවශ්‍ය උපකරණ දෙන්න පුළුවනිද, ශ්‍රමදාන/දුමායන කටයුතුවලට අනුග්‍රාහකත්වය ලබාදෙන්න පුළුවනිද කියා මම කියන්න යන්නේ නැහැ ය. කියලා වැඩකුත් නැත්තේය.

මිත්‍රවරුණි, විප්ලවය සිදුකළ යුත්තේ මෙවන් කාළකණ්ණි පාලක පැලැන්තියෙන් ජනතාව මුදාගැනීම සඳහා ය!!!