Tuesday, September 26, 2017

IRAJ Productions අපිට එපා | Say NO to IRAJ

 


IRAJ Productions ආයෙත් වතාවක් දෙබරෙට ගල් ගසලාය. There is no such thing as Bad Publicity කියලා කිව්වේ නිකං නොවනා බව Iraj Weeraratne ඉතා හොඳින් දන්නා බව පැහැදිලිය. මේ ලියන අකුරු ටිකෙන් ඉරාජ්ට හෝ ඉරාජ් ගේ පබ්ලිසිටි ප්‍රොපගැන්ඩාවට මොනම විදියක හෝ සහයක් ලැබුනත් නැතත්, මේ වෑයම ඔහුගේ තුප්පහි මාකටිං ගැන මගේ සත පහ ඔබට කියන්නට ය. 

මියුසික් වීඩියෝ එකේ නම, ඒකේ රඟපාන අය, උපමාව උපමේය මේ වෙනකොටත් ඔබ හැමෝම දන්නවා ය. මේ පාර ඉරාජ්ගේ ඉලක්කය, මුළු රටේම ප්‍රශංසාවට, කීර්තියට පත් වූ කෘතහස්ථ සංගීතවේදියාව ය. තමන්ගේ කටහඬෙන්, සංගීතයෙන් දශක කීපයක් මුළු රටක් සනහා ලූ අපූර්ව මිනිසාව ය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඒක පුද්ගල සංගීත ප්‍රසංග ගණනක් සාර්ථකව පැවැත්වූ සහ ස්වකීය ජනප්‍රියත්වයේ උපරිමයේදී වේදිකාවෙන් බැස ගිය පුද්ගලයාව ය. වයස අවුරුදු 75ක් වුවත්, අවුරුදු 35දී ගායනා කළ ජවයෙන්ම පෞර්ෂයෙන්ම තවමත් රසිකයන් පිනවනා මහා ගාන්ධර්වයානන්ව ය. ඉරාජ් මේ පාර අල්ලා ගත්තේ වික්ටර් රත්නායක ව ය.

වික්ටර් ගායනා කළේ සුභාවිත ගීතය ය. වික්ටර් නිර්මාණය කළේ සුභාවිත සංගීතය ය. ප්‍රේමකීර්ති ලියා වික්ටර් සංගීතවත් කරමින් ගායනා කරන "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය අදටත් මේ රටේ අංක එකේ මව්ගුණ ගීතය ය. වෙසක් පොසොන් කාලෙට රට පුරා ඇහෙන බෞද්ධ ගීතවලින් හරි අඩක් වික්ටර් සංගීතවත් කළ හෝ ගායනා කළ ගීත ය. ප්‍රේමය, විරහව, සතුට, දුක මේ ඕනෑම මනෝභාවයක් අත්විඳින වෙලාවකදී හිතට එන, මුමුණන ගීතවලින් බහුතරයක් වික්ටර් ගායනා කළ ගීතයන් ය. සංගීතවත් කළ ගීතයන් ය. අදටත් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල, ගෘහස්ථ සිංහල සංගීත සංධ්වනි සඳහා වැඩිම මිලක් අයකරන්නේත් වික්ටර් ය. ශ්‍රී ලංකාවේ ගීතයේ වික්ටර් රත්නායක සළකුණ අන්න එහෙම එකක් ය. අද වික්ටර්ව විවේචනය කරන ඉරාජ්ලා අපේ රටේ සංගීතය වෙනුවෙන් කෙරුවේ මොනවාද කියා මම ආයෙත් ඔබෙන් අහනවා ය.

වික්ටර් සිදුකළේ ගීත ගායනා කිරීම විතරක් නොවේ ය. සුභාවිත ගීතය රැකගැනීම, ඉඳිරියට ගෙන යෑම ගැනත් වික්ටර් කතා කෙරුවේය. පාසැල්වල, විශ්ව විද්‍යාලවල දේශණ පැවැත්වූයේ ය. ඒ වෙනුවෙන් පුවත්පත් තීරුලිපි ලීවේය. පොත් ලීවේ ය. ඔහුගේ ඒ සමහර අදහස් තියුණු ය. අසා සිටීමට අපහසු ය. "ජරා ගීත කියනවුන්ගේ දිවවල් කපා දැමිය යුතුය" යි වරෙක වික්ටර් කීවේ ය. ඒ අදහස් හා මේ ලියන මමත් 100%ක් එකඟ වෙන්නේ නැති ය. නමුත් එළෙස කියන්නට වික්ටර්ට ශුද්ධ වූ අයිතියක් තියෙන්නේ ය. ඒ ඔහු මේ රටේ සුභාවිත සංගීතය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය නිසා ය.

මීට මාස කීපයකට පෙර සිදු වූ වික්ටර් ගේ දෙවන විවාහය ගැන ඒ දවස්වලත් ලොකු කතාබහක් ඇති වූයේ ය. වික්ටර් විවාහ වූයේ නීත්‍යානුකූලව ය. ඒක ඔහුගේ අයිතියක් ය. වික්ටර්ගේ පෞද්ගලික ජීවිතය මට අදාළ නැත්තේ ය. ඒ වගේම ඒක ඉරාජ්ටත් අදාළම නැත්තේ ය. 

මෑත කාලීනව ඉරාජ් හදපු බොහෝ මියුසික් වීඩියෝ රටේ ටෙලිවිෂන්වල ප්‍රචාරය වූයේ නැත්තේ ය. රේඩියෝ චාට් ෂෝවලට ඇතුල් වූයෙත් නැති ය. ඔහු ඒවා හදන්නේත් ටීවී ෂෝ ඉලක්ක කරගෙන නොවේ ය. ඔහුගේ එකම ඉලක්කය YouTube එකේ හිට්ස් සහ විව්ස් ය. ඒ හිට්ස් සහ විව්ස් වෙනුවෙන් ඔහුට ලැබෙන ගාණ ගැන අදහසක් මට නැත්තේ ය. නමුත්, තමන්ගේ බඩ ගෝස්තරේ වෙනුවෙන් ඔහු අද වික්ටර්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගසා ඇත්තේ ය. ඉරාජ් එක්ක අපිට ප්‍රශ්න ඇති වන්නේ අන්න එතන දීය. 

මගේ ජීවිත කාලය පුරා බොහෝ අවස්ථාවලදී මම වික්ටර්ගේ ගීතවලින් රස වින්දනයක් ලබා තියෙන්නේ ය. මේ කියවන ඔබත් ඒ වින්දනය ලබා තිබෙන බව මට විශ්වාස ය. වික්ටර් තව අවුරුදු කීයක් ජීවත් වේදැයි කියන්න මම දන්නේ නැති ය. ඔහු මියගිය දවසක ඔහු වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කරනවාට වඩා ජීවත්වන වික්ටර්ව සයිබර් අවකාශයේ හිංසාවට පත්කිරීමට විරුද්ධව පෙනී සිටීම වැදගත් බව මගේ කියවීම ය. මේ මිනිසාව අපි රැකගත යුතු ය. ඉරාජ්ගේ මේ තුප්පහි මාකටිංවලට අපි විරුද්ධ විය යුතුම ය. මේ ඒක සිදුකළ යුතු වෙලාව ය.

මේ සටහන කියවන ඔබගෙන් මම එකම එක ඉල්ලීමක් කරන්නේ ය. ඒ තව එකම එක පාරක් ඉරාජ් ගේ වීඩියෝව නරඹන්න කියලා ය. ඒ නරඹන්නේ රසවිඳින්න හෝ බනින්න හෝ නොවේ ය. ඒ වීඩියෝ එක රිපෝට් කරන්න ය. වීඩියෝ එක රිපෝට් කරන විදිය පියවර සහිතව පහතින් ඇති ඡායාරූපවලින් තියෙන්නේ ය. තමන්ගේ ජීවිතයෙන් එක විනාඩි 05ක් මේ වෙනුවෙන් වියරම් කරන්නයි මම ඔබෙන් ඉල්ලන්නේ ය. ඒ විනාඩි 05ක කාලය කල්පයක් තරම් වටිනා බව ස්ථීර ය.


1. මුලින්ම ඔබගේ GMail එකවුන්ට් එකෙන් YouTube එකට ලොග් වෙන්න.
YouTube එකේ ඇති අදාළ වීඩියෝවට යන්න.
රතුපාට කොටුවෙන් පෙන්වා ඇති More ක්ලික් කරන්න.



2. එහි එන රතු පැහැති කොටුවෙන් දක්වා ඇති Report උඩ ක්ලික් කරන්න

3. Report this Video යන කොටසේ ඇති Hateful or Abusive content යන්න තෝරන්න. එහි ඇති මෙනුවෙන් Bullying යන්න තෝරන්න.

4. Timestamp Selected යන්නට රූපයේ පෙනෙනා අංක දෙක අනිවාර්යෙන්ම දමන්න. "ස" වෙනුවට 'ප' යන්න යොදාගෙන ඇති රූපරාමුව මේ නිශ්චිත වේලාවේදී දර්ශනය වේ.

5. මේ වීඩියෝව රිපෝට් කරන්න හේතුව ලෙස ඉතා කෙටියෙන් හෝ යමක් ලියන්න. This video abusing great artist's personal life ලෙස ලිවීම වුවත් ප්‍රමාණවත් වේ.


6. Submit කරන්න.
 
තමන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට එබෙන තුප්පහි ජීවන පුරුද්දට පුරවැසියන් වශයෙන් අපි විරුද්ධ විය යුතුම ය. මේ වචන ටික ලියුවේ ඒ වෙනුවෙන්ම ය.

කියවූ ඔබ සැමට බොහෝම ස්තූතියි ය.

Friday, September 22, 2017

නිදහස් මෘදුකාංග දිනය 2017 - #SFD17


ලෝක නිදහස් මෘදුකාංග දිනය - Software Freedom Day - යෙදෙන්නේ හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදාවටයි. මේ අවුරුද්දෙත් සැප්තැම්බර් 16 සෙනසුරාදා මේ ලෝකේ බොහෝ තැන්වල නිදහස් මෘදුකාංග දිනය බොහොම සාර්ථකව සහ උත්කර්ෂවත්ව සැමරීම සිදුකෙරුනා. 

ශ්‍රී ලංකාවේ නිදහස් මෘදුකාංග දිනය වෙනුවෙන් විශාලතම වැඩසටහන පැවැත්වුනේ NSBM Green University එකේදියි. Mozilla Campus Club - NSBM එකත් එක්ක Mozilla Campus Clubs - Sri Lanka එකේ අනිත් විශ්ව විද්‍යාලවල Mozilla Club එකතුවෙලා SFD17 නමින් ඒ වැඩසටහන බොහොම සාර්ථකව සංවිධානය කරලා තිබ්බා. 

නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන බොහෝ පිරිසක් වගේම නිදහස් මෘදුකාංගවලට ආදරේ කරන සහ නිදහස් මෘදුකාංග පාවිච්චි කරන බොහෝ දෙනෙක් ඒ වැඩසටහනට එදා සහභාගී වෙලා තිබ්බා. නිදහස් මෘදුකාංග පිළිබඳ විශේෂ දේශණ කීපයක්ම එදා දවසේදී පැවැත්වුනා. Malinda Alahakoon, Lasantha Priyankara, Iresh Chaturanga වගේ කීපදෙනෙක්ගේ බොහොම හරවත් අදහස් ඒකෙදි අහන්න දකින්න ලැබුණා. 

පිටපිටම දෙවෙනි අවුරුද්දටත්, NSBM Software Freedom Day වැඩසටහනේ ආරාධිත දේශණයක් සිදුකරන වගකීමක් මටත් පැවරිලයි තිබුණේ. සාම්ප්‍රදායික විදියට නැතිව බොහොම නිදහසේ පැයක කාලයක් පුරා සිදුකරපු මගේ දේශණයේ මාතෘකාව උනේ Software Piracy & Benefits of Using Free Software. එදා දවසේදී කරපු කතාව විනාඩි 7-8 පොඩි පොඩි කොටස් කීපයක් විදියට එඩිට් කරලා ආයෙත් YouTube එකට අප්ලෝඩ් කෙරුවේ පැයක වීඩියෝ එකක් බලන වැඩේ කළාතුරකින් ඇර බොහොම දෙනෙක් සිදුකරන්නේ නැති නිසයි. (එහෙම කරපු බොහොම හිතවත් මිතුරන් කීපදෙනෙකුත් හිටියා)

පල්ලෙහා තියෙන ලිංක් එකෙන් එදා මම සිදුකරපු කතාවට සවන් දෙන්න ඔබට පුළුවනි. අහලා බලලා හිතෙන දෙයක් කියන්න.

පළවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

හතරවෙනි කොටස

පස්වෙනි කොටස

හයවෙනි කොටස

හත්වෙනි කොටස

නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

Thursday, September 21, 2017

මමයි අම්මයි තාත්තයි


Udaya Dewamulle ව මට මුණගැහෙන්නේ ඉතාම අහම්බෙන්ය. ඒ හමුවට මග පෑදෙන්නේද මහ අමුතුම විදියකට ය. ඒ කාලයේ මම රාජකාරිය සඳහා පැමිණි වාහනයේ රේඩියෝවට අහුවෙන්නේ සිත FM පමණක් ය. ඒ වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක කරවන්නේ උදේ 8ට කිට්ටු වෙලාවකදී ය. රේඩියෝව අහනවා කිව්වාට එහෙම්මම අහන්නේත් නැතිය. රේඩියෝව ඔහේ කෑගහන අතර අපි අපේ කතාවල ය. එක දවසක් අනිත් දවස්වලට වඩා වෙනස් වූයේ එදා රේඩියෝවෙන් ඇහුණ හඬ නිසා අපේ කතා නතර කර රේඩියෝව අහගෙන ඉන්න අපිට හිතුන නිසා ය. පැහැදිලි ගැඹුරු පිරිමි කටහඬකින්, තප්පර එකසිය විස්සක් පුරා ඇහුන පණිවිඩයේ අහක දාන්න දෙයක් තිබුණේ නැති ය. එදා දවසේ සිට ගෙවුන හැම සතියේ දවසකම, උදේ 8ට විනාඩි දෙකතුනකට කළින් අපේ වාහනයේ සියළු කතාබහ නැවතුනේ ය. හැම දෙනාම රේඩියෝවට කන්දීගෙන හිටියේ තප්පර එකසිය විස්සක භාවනාවක් සඳහා ය. ඒ තප්පර එකසිය විස්සේ නම "පියවරක් ඉඳිරියට" ය. පියවරක් ඉඳිරියට තියන්න රේඩියෝවෙන් කතාකරපු ඔහු උදයා දේවාමුල්ල ය. 

උදයා දේවාමුල්ලව තවත් ෆලෝ කරන්නට මට සැර උවමනාවක් එන්නේ ය. ලෝකේ හැම හතරදෙනෙක්ගෙන්ම කෙනෙක් ෆේස්බුක් ඉන්නා නිසා මම උදයා දේවාමුල්ලවත් ෆේස්බුක් එකේ සොයන්නේ ය. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක දමා දවස් දෙකකට පසු ඔහු හා මම ඩිජිටල් මිතුරන් බවටද පත්වෙන්නේ ය. එසේ මිතුරන් වී ටික කාලයකට පසුව සිත FM ඔස්සේ පියවරක් ඉඳිරියට ඇහෙන්නේ නැති වෙන්නේ ය. ඊට හේතුව විමසා උදයා දේවාමුල්ල ට චැට් එකක් යැව්වේ මේ අවුරුද්දේ පෙබරවාරි 21වෙනිදා ය. ඒකට අදටත් උත්තරයක් නැත්තේ ය. කොටින්ම උදයා දේවාමුල්ල ඒක දැකලාවත් නැත්තේ ය. 

උදයා දේවාමුල්ලගේ ෆේස්බුක් ස්ටේටස් හැමදාම මට පේන්න පටන් ගත්තේ ගිය මාසේ ඉඳලා ය. ඒකත් අපූරු සිද්ධියක් ය. ආණ්ඩුවේ පොලිතීන් තහනම උදයා දේවාමුල්ල අල්ලාගන්නේ ඔහුගේ තැනින් ය. ඒ ෂොපින් බෑග් තහනම ලෙසින් ය. සැප්තැම්බර් පළවෙනිදා සිට පොලිතීන් තහනම් වෙන ආරංචිය ලැබුන දා සිටද කොහෙද උදයා දේවාමුල්ල ෆේස්බුක් එකේ ඒ වෙනුවෙන් දින ගනින්නේ ය. ඉතා අහම්බෙන් ඒ ස්ටේටස් එකක් ඇහැගැටුණ මම උදයා දේවාමුල්ල සමඟ යුනිකෝඩ් සංවාදයකට එළඹෙන්නේ ය. ෂොපින් බෑග් තහනමට පක්ෂව උදයා දේවාමුල්ලත් පොලිතීන් තහනමට විරුද්ධව මමත්, දවස් දෙකක් තිස්සේ සිදුකරපු ඒ සංවාදය තවමත් උදයා දේවාමුල්ලගේ ප්‍රොෆයිලයේ තිබෙනවා විය යුතු ය. අදටත් උදයා දේවාමුල්ල ෂොපින් බෑග් තහනම බලාත්මක කරන දිනය වෙනකම් ෆේස්බුක් එකේ දින ගනින්නේ ය. මම හැමදාම ඒ පෝස්ට් ලයික් කරන්නේ ය. 

උදයා දේවාමුල්ල ගැන මෙච්චර හෑල්ලක් ලිව්වේ ඇයි කියලා කියවන ඔබට හිතෙන්න පුළුවනි ය. මමයි අම්මයි තාත්තයි කියන උදයා දේවාමුල්ල ගේ අලුත්ම පොත එළිදක්වන්නේ සැප්තැම්බර් 23 අනිද්දා උදේ 9ට නිදහස් චතුරශ්‍රයේදී ය. එදා සිද්ධවෙන සාකච්ඡාව අහන්න වටින සාකච්ඡාවක් බව මට විශ්වාස ය. "මමයි අම්මයි තාත්තයි" පොත කියවන්න වටින පොතක් බව මට ස්ථීර ය. අනිද්දා උදේ 9ට විතර නිදහස් චතුරශ්‍රේ සිමෙන්ති පඩියක් උඩ මමත් වාඩිවෙලා ඉන්න එකත් ස්ථීර ය. "මමයි අම්මයි තාත්තයි" එක්ක එකතුවෙන්න මේ ආරාධනය ඔබ සියළුම දෙනාට ය. 

තමන්ව ටැග් කරලා තිබ්බත් උදයා දේවාමුල්ල මේ සටහන නොදකින්න තියෙන ඉඩ ඉතා වැඩි ය. ඒ ගැන මට දුකකුත් නැති ය. "පියවරක් ඉඳිරියට" තුළින් මම මගේ ජීවිතේට ගත්ත දේවල් බොහෝ ය. මේ උත්සාහය "පියවරක් ඉඳිරියට" වෙනුවෙන් කෘතගුණ දැක්වීම ය. නමුත් ඇත්තම කතාව නම්, ඒ කෘතගුණ දැක්වීමට මේ යුනිකෝඩ් බොහොම මදි ය. 

අනිද්දා උදේ 9ට නිදහස් චතුරශ්‍රේදී හමුවෙමු!

Thursday, September 14, 2017

Software Freedom Day 2017 - ඔබත් එන්න...




හැම අවුරුද්දෙම,
සැප්තැම්බර් මාසේ තුන්වෙනි සෙනසුරාදා යෙදෙන,
Software Freedom Day එක වෙනුවෙන්,
නිදහස් මෘදුකාංග දිනය සමරන වැඩසටහන්,
ලෝකේ ගොඩක් රටවල පැවැත්වෙනවා...

ඒ නිමිත්තෙන්,
අපේ රටේ පැවැත්වෙන,
ලොකුම නිදහස් මෘදුකාංග දින වැඩසටහනේදී,
Software Piracy ගැන,
Free Software පාවිච්චි කරන එකෙන්,
තමන්ට ලැබෙන Benefits ගැන,
කතා කරන්න,
සැප්තැම්බර් 16වෙනි සෙනසුරාදා,
දවල් 1.30ට,
NSBM හරිත සරසවියට,
මමත් එනවා...

ඔබත් එන්න...

Wednesday, September 13, 2017

සිංහල සබ්ටයිටල්



සිංහල සබ්ටයිටල් සහ ඒවගේ කොලිටි එක ගැන බොහෝ දෙනා බොහෝ තැන්වල බොහෝ කතන්දර කියනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ගැන මගේ සත පහ.

ඉංග්‍රීසි, හින්දි, දෙමළ හෝ වෙන ඕනෙම භාෂාවක ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දෙන එක ලේසි වැඩක් නෙමේ. තාක්ෂණිකව ගත්තත් ඒක මහ එපා වෙන, ඉතාම ඉක්මනින් කරන කෙනා අධෛර්යමත් වෙන, පොඩ්ඩ ගැස්සුනොත් වැඩේ ආයේ කෙළවරක ඉඳං පටන් ගන්න වෙන වැඩක්. ඒ වගේම මොනතරම් මැරිලා සිංහල සබ්ටයිටල් දුන්නත් ඒකෙන් තමන්ට ලැබෙන සතේක ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ඒ වැඩේ තනිකරම කරන්නේ තමන්ගේ හිතේ සන්තෝසේ වෙනුවෙන්. කොටින්ම කියනවනං,අද අපේ රටේ ඉන්න අතිබහුතරයක් සිංහල සබ්ටයිටල් හදන කොල්ලෝ කෙල්ලෝ කරන්නේ අතිං කාලා හරක් බැලිල්ලක්. 

ඕකේම තවත් පැත්තකුත් තියෙනවා.
ඒ තමයි සිංහල සබ්ටයිටල් එකක් හැදුවම අහන්න වෙන කතන්දර ටික. සමහර අය බොහෝම උවමනාවෙන් කැපවීමෙන් සබ්ටයිටල් හදනවා. තවත් සමහර අය ෆිල්ම් එක එකපාරක්වත් බලන්නේ නැතුවත් ඉංග්‍රීසි සබ්ටයිටල් ෆයිල් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා සිංහල සබ් ෆයිල් එක හදනවා. සිංහල සබ්ටයිටල්වලට තියෙන චෝදනා අතිශය බහුතරේකට මූලිකම හේතුව මම ඔය දෙවෙනියට සඳහන් කරපු කණ්ඩායමේ ක්‍රියාකාරකම්. සරළම කතාව මෙච්චරයි, සබ්ටයිටල් දෙන්න කළිං ඒ ෆිල්ම් එකේ ජීවත් වෙන්න ඕනේ. හැම සිදුවීමක්ම විඳින්න ඕනේ. ඒ වගේම ෆිල්ම් එක ගැන ක්‍රමවත් අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට තමයි පරිවර්ථනය කරන එක හරියට එන්නේ. ඉංග්‍රීසි වචන ටික ඒ අර්ථයෙන්ම පරිවර්ථනය කරන්න ගියාමත් හරි තේරුම එන්නේ නැහැ. පරිවර්ථනය කරන කෙනා ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. නිකංම සබ්ටයිටල් ෆයිල් එක දිග ඇරගෙන පරිවර්ථනය කරගෙන කරගෙන යන්න ගියාම ලොකු වැරදි සිදුවෙනවා. ඒක අපරාධයක්. පරිවර්ථනය කරන කෙනා තමන්ටම කරගන්න අපරාධයක්. පැය දෙකක ෆිල්ම් එකක සබ්ටයිටල් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. නමුත් මේ වගේ වැරදි නිසා ඒ කැපකිරීමේ වටිනාකම ඒ පුද්ගලයා විසින්ම 0ටම දමාගන්නවා.

මෙහෙම හිතන්න. ෆිල්ම්වලට සිංහල සබ්ටයිටල් දෙන්න ආස 10දෙනෙක් එක්කහු වෙලා ගෲප් එකක් හදාගෙන වැඩේ කරගෙන යනවා. මේ සෙට් එකේ 8දෙනෙක්ම ඉතාම කැපවීමෙන් මහන්සියෙන් සබ්ටයිටල් හදන අය. අනිත් දෙන්නා කරන්නං වාලේ වැඩ කරන අය. නරකම වැඩේ වෙන්නේ, ඒ නොසැළකිළිමත් දෙන්නාගේ අඩුපාඩු නිසා සමස්ථ කණ්ඩායමේම වැඩේ ගැන තියෙන මහජන විශ්වාසය නැතිවෙන එක. ඔය උඩින් අමුණලා තියෙන ෆොටෝ එකත් ඒ වගේ නොසැළකිළිමත්කමෙන් යුතු කෙනෙක් අතින් සිදුවෙච්ච වැරැද්දක්. ඒ වැරැද්ද කරපු පුද්ගලයා මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ සමස්ථ මහන්සියම එක වාක්‍යයක් නිසා අපතේ ගිහින් තියෙන හැටි ඉතාම ශෝචනීයයි. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් විය යුතුයි. ඒක වෙනස් කරන්න පුළුවනුත් සිංහලෙන් සබ්ටයිටල් හදන අයට විතරමයි. 

දැං කෙනෙක් අහන්න පුළුවන්, "ඉතිං මෙච්චර පොර ටෝක් දෙන එකේ උඹත් සිංහල සබ්ටයිටල් එකක් හරි හදපංකෝ" කියලා. ෆිල්ම් එකක් දෙතුන්පාරක් බලන්න, ඒ ෆිල්ම් එකේ හැම දෙබසක් ඇතුළෙම ජීවත් වෙන්න, ෆිල්ම් එක ගැන අධ්‍යයනයක් කරලා ලොකු අවබෝධයක් ලබාගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මට එහෙම කැපකිරීමක් කරන්න බැහැ. ඒ නිසා මම සිංහල සබ්ටයිටල් හදන්නේ නැහැ!

Sunday, September 10, 2017

ඩ්‍රෝන් යවපු ශ්‍රීපාලියේ ළමයි | Hey Sky, Here We Come (Vol. 02)



පහුගිය මැයි මාසේ 08 වෙනිදා අපි කීප දෙනෙක් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලේ Photography Society එකේ ළමයින්ට "ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි" ගැන දවසක වැඩමුළුවක් සිදුකෙරුවා ඔබට මතක ඇති. ඒ වැඩසටහනේ දෙවෙනි පියවර විදියට මාස 4කට පස්සේ පහුගිය සැප්තැම්බර් 08වෙනිදා අපේ කණ්ඩායම ඒ වගේම වැඩසටහනක් සිදුකෙරුවා හොරණ ශ්‍රී පාලී විද්‍යාලයේදී. 

ගියපාර වගේම මේ වතාවෙත් වැඩේ මූලිකත්වය ගත්තේ අපේ රටේ ප්‍රමුඛතම ඩ්‍රෝන් කැමරා ශිල්පියෙක් වෙන Thisara Madhuwantha (සිහින) මල්ලි. ඊට අමතරව Lasantha Priyankara, Chammika Perera අපේ සාමාජිකයො දෙදෙනාත් මෙදාපාරත් වැඩේට සම්බන්ධ වුනා. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් Dilhan Hakmanage මෙදාපාර සහභාගී වුනේ නැහැ. ඒ වගේම කාළගුණික අපහසුතා නිසා Lishan Puwakovita හදපු බොහොම මනරම් හෑන්ඩ් අවුට් ටික මේ පාරත් ළමයින්ට බෙදා දෙන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. 


ඉස්කෝලේ පැත්තෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත සිදුකෙරුවේ ශ්‍රීපාලී විද්‍යාලයේ ආදිශිෂ්‍ය 2000 කණ්ඩායමේ Calhara Dissanayake අපේ හිතවතා යි. ඇත්තම කතාව, කල්හාර නිසා තමයි මෙදාපාර මේ වැඩේ සිද්ධ වුනේ. මාස ගාණක් තිස්සේ දිගින් දිගටම අපිව සම්බන්ධ කරගෙන, මේ වැඩමුළුව තමන්ගේ ඉස්කෝලෙට ගෙනියන්න කල්හාර සිදුකරපු වැඩකොටස අතිමහත්. ඩෙංගු රෝගය, අයහපත් කාළගුණය කියන මේ හැම බාධාවක්ම පරාද කරලා එදා දවසේ වැඩමුළුව පවත්වන්න කල්හාරගේ අනුපමේය ධෛර්යයට හැකිවුන බව සඳහන් කරන්නම අත්‍යවශ්‍යයි. 







මෙදාපාර වැඩේට අපිට තිබ්බ ලොකුම බාධාව තමයි අයහපත් කාළගුණය. සැප්තැම්බර් 08වෙනිදත් කඩින් කඩ පොද වැසි වගේම ලොකු වෙලාවක් වැහැපු ගිගුරුම් සහිත මහ වැස්සත් ඩ්‍රෝන් උඩ යවන අදහස හීනයක් වෙන තරමට අපේ බලාපොරොත්තු ඈත් කෙරුවත්, කළගුණය ඒ තරම්ම අපිට අකාරුණික වුනේ නැහැ. ඉර එළිය පොඩ්ඩක්වත් හරියට වැටුනේ නැති උනත්, හැම දරුවෙක්ටම අවම විනාඩි 5ක විතර වගේ Flying Time එකක් ලබාදෙන්න ඒ වතාවෙදිත් අපිට හැකියාව ලැබුණා. සිහින මල්ලිගේ අදහස නම් ආධුනිකයෙක්ට ඒ කාලය බොහොම හොඳ ප්‍රමාණවත් කාලයක් කියලයි. 






ඊට අමතරව ඩ්‍රෝන් යවද්දි කළයුතු නොකළයුතු දේවල්, ඩ්‍රෝන් සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක් සතුව තිබිය යුතු ආචාරධර්ම ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම ඩ්‍රෝන් එක හැදිලා තියෙන විදිය, ඒකේ මූලික ක්‍රියාකාරීත්වය, ඩ්‍රෝන් එකේ ඇප් එකෙන් සිදුවෙන දේ සහ අනතුරක් කරගන්නේ නැතුව ඩ්‍රෝන් යවන විදිය ගැනත් සාපේක්ෂව ලොකු දැනුමක් ඒ දරුවෝ හැම කෙනාටම දෙන්න අපිට පුළුවන් වුනා. 

මේ වැඩේ කරන අපේ මූලිකම අරමුණ තමයි මේ ළමයින්ට ඩ්‍රෝන් කියන්නේ මැජික් එකක් නෙමේ කියන දේ පෙන්නලා ඒ අත්දැකීම ලබා දීම. ඈතින් ඉඳන් ඩ්‍රෝන් යවන විදිය බලාගෙන හිටිය ළමයින්ට ඩ්‍රෝන් එකක් උඩ යවන්න, කොන්ට්‍රෝල් කරන්න, ඒකෙන් වැඩ කරන්න කියලා එයාලට ඒක කරන්න දෙන්න. ඒ අරමුණ නම් ඉහටත් උඩින් සම්පූර්ණ උනා. 

කොළඹට කිට්ටු නිසාද කොහෙද, තමන් විසින්ම ඩ්‍රෝන් එකක් හදපු දරුවෝ දෙන්නෙක් එතනදී අපිට මුණගැහුනා. YouTube එකෙන් හදන විදිය ගැන සියළු දේ බලාගෙන, පිටකොටුවේ/මරදානේ රස්තයාදු වෙලා අවශ්‍ය බඩු අරගෙන බොහොම හොඳ නිමාවකින් යුතු ඩ්‍රෝන් එකක් හදපු දරුවෙක් එතන හිටියා. ඒ ඩ්‍රෝන් එක බොහොම හොඳට පියාසර කරන බවත් සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම ඒ ඩ්‍රෝන් එක fly කරලා අපි කීපදෙනාත් මාර වින්දනයක් ලැබුව බවත් සඳහන් නොකෙරුවොත් ලොකු අඩුවක්. අවුරුදු 17ක කොල්ලෙක් ඒ විදියේ වැඩක් ඒ තරම් සාර්ථකව කරන එක අපිට අනුව නම් ලොකුම ලොකු දෙයක්. ඒ දරුවගේ හැකියාව හොරණින් කොළඹට එනවනම්, ඔහුට යන්න පුළුවන් දුර අප්‍රමාණයි කියන එක විතරක් දැනට කියන්නම්. 




එතන හිටිය දරුවන් බොහෝදෙනෙක් ඩ්‍රෝන් එකක් ජීවිතේ පළවෙනි වතාවට අතින් ඇල්ලුවේ එදා. ඩ්‍රෝන් එකක් කොන්ට්‍රෝල් කරද්දි ඒ ළමයින්ගේ විතරක් නෙමේ ගුරුවරුන්ගේ පවා ඇස්වල තිබ්බ දීප්තිය, මුහුණෙන් පිටවෙන හැඟීම් විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ හැමෝම එදා ගෙවුන පොඩි වෙලාවෙදිත් ඔවුන් ලබාගත්ත අත්දැකීම නම් මහ මෙරකට වඩා විශාලයි.



ෆොටෝ බොහෝ ප්‍රමාණයක් කල්හාරගේ කැමරාවෙන් ගත්ත ඒවා. මගේ ෆෝන් කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයකුත් අතරින් පතර තියෙනවා. කල්හාරට බොහොම ස්තූතියි මේ මතකය සටහන් කරගත්තට. 


ආයෙත් දවසක රටේ තවත් කෙළවරක දරුවන් එක්ක ඩ්‍රෝන් වැඩමුළුවකදී මුණගැහෙමු.

Friday, August 11, 2017

History Repeats Itself



මේ ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්නේ පැබ්ලෝ එස්කෝබාර් ( Pablo Escobar 1949 - 1993). 85-90 වගේ කාල ප්‍රාන්තරයේදී ලෝකයේ 7වෙනියට ඉහළම ධනවතා විදියට Forbes සඟරාවෙන් නම්කරලා තිබුනේ එස්කොබාර් ව. එස්කොබාර්ගේ බිස්නස් එක තමයි කොකේන්. ඒ කාලෙදි ලෝකෙට සපයපු කොකේන්වලින් 80%ක්ම එස්කොබාර්ගේ කොකේන් කියලයි කියන්නේ. එස්කොබාර් ජීවත් වුනේ කොළොම්බියාවේ. එයාගේ කොකේන් අධිරාජ්‍යය සහ ඒකේ ක්‍රියාකාරකම් නිසා කොළොම්බියානු රජය දැඩි අපහසුතාවයකට පත්වෙලයි හිටියේ. මේ හේතුව නිසාම එස්කොබාර්ව දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න පටං ගත්තා. මේ දඩයමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයත් කොළොම්බියානු රජයට ලැබුණා. එස්කොබාර් ට මේ දඩයම කරදරකාරීයි. එයා ආණ්ඩුව එක්ක එකඟතාවයකට ඒ කියන්නේ ඩීල් එකකට ආවා. ඒ තමයි එස්කොබාර් ගේ කොන්දේසි කීපයකට රජය එකඟවෙනවානම් එස්කොබාර් සිරගත වීම. ඒ වෙනකොට එස්කොබාර් නිසා තමන් පත්වෙලා හිටිය දේශපාලනික සහ සමාජීය අපහසුතාවයෙන් ගැලවෙන්න ඕනේ නිසාම කොළොම්බියානු ජනාධිපති සීසර් ගැවීරියා මේ කොන්දේසිවලට එකඟ උනා. ඒ කොන්දේසි වලින් ප්‍රධානම එකක් තමයි එස්කොබාර් සිරගත වෙන බන්ධනාගාරය. ඒක එස්කොබාර් කැමති තැනක ඔහුට අවශ්‍ය විදියට නිර්මාණය ඕනේ. බන්ධනාගාරයේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් ඔහු විසින් තෝරන අය පමණක් වෙන්න ඕනේ. ඒ වගේම රජයේ හමුදාව හෝ පොලීසිය සිරගෙදර සීමාවේ ඉඳලා සැතපුම් 2ක් (සමහර තැන්වල මේක සැතපුම් 12ක් කියලත් තියෙනවා) ඈතින් තමයි ඉන්න ඕනේ. ඊට මෙහා එන්න තහනම්. මේ බන්ධනාගාරය ෆුට්බෝල් ක්‍රීඩාකරන තැනක්, බාර් එකක්, අති සුඛෝපභෝගී නානකාමර, දිය ඇළි වගේ දේවල් වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම එස්කොබාර් ඒ බන්ධනාගාරයේ ඉඳලා තමන්ගේ කොකේන් ජාවාරම පෙර පරිදිම සිදුකරගෙන ගිහිල්ලත් තියෙනවා. එස්කොබාර් විසින් තමන් වෙනුවෙන්ම හැදුව බන්ධනාගාරේ නම La Catedral. පොඩි ගූගල් සර්ච් එකකින් ඕක ගැන විස්තර ඕනේ තරම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවනි.

දැං එමු ෆොටෝ එකේ දකුණු පැත්තට. ඒකේ ඉන්නේ The Banker සඟරාවට අනුව ආසියානු පැසිෆික් කලාපයේ "හිටපු" හොඳම මුදල් ඇමති, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා. ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවෙච්ච ලොකුම මූල්‍ය වංචාව වුන මහබැංකු බැඳුම්කර වංචාවේදී, ඒ වංචාවට හවුල්කාර පාර්ෂවයකින් රුපියල් මිලියන 165ක් හෝ ඊට ආසන්න වටිනාකමක් තියෙන අති සුඛෝපභෝගී මහල් නිවාසයක් අල්ලස් වශයෙන් ලබාගත්තා කියලා එතුමන්ට පැහැදිලි සාක්ෂි සහිතව චෝදනා එල්ල වෙන්නේ බැඳුම්කර වංචාව ගැන විමර්ෂණය කරන ජනාධිපති කොමිසමේදීයි. මේ හේතුව නිසාම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් එතුමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගරු කථානායකතුමන්ට භාරදෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන්න කළින් එතුමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරලා සිංහ සෙය්යාවෙන් තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට අසුන් ගන්නවා. හරියටම මම මුලින් සඳහන් කරපු පැබ්ලෝ එස්කොබාර් බන්ධනාගාර ගතවුනා වගේම. 

නමුත් ගරු රවී කරුණානායක ඇමතිතුමාගේ ඉල්ලා අස්වීම සිදුකරන්නට කළින් එතුමන් සමඟින් රජයේ ඉහළම නායකයන් සිදුකරපු සාකච්ඡා ගොසිප් විදියට සමාජ අවකාශයේ පැතිරෙනවා. එහිදී ඉල්ලා අස්වෙනවානම් තමන් වෙනුවෙන් සිදුවිය යුතු දේ සහ ලැබිය යුතු දේ පිළිබඳව එතුමන් විසින් සඳහන් කරපු කොන්දේසි කීපයක් ගැන ඒ ගොසිප්වල සඳහන්. සමහරවිට පැබ්ලෝ එස්කොබාර්ගේ යෝජනාත් ඒ කාලේ ගොසිප් විදියට සමාජේ සංසරණය වෙන්න ඇති. එස්කොබාර්ගේ බන්ධනාගාර කොන්දේසි සමාජගත වුනා වගේ ගරු ඇමතිතුමන් තමන්ගේ ඉල්ලා අස්වීම වෙනුවෙන් යම් කොන්දේසි ඉඳිරිපත් කෙරුවානම් ඒවත් තව කාලයක් යද්දි සමාජගත වේවි.

හරියටම මීට අවුරුදු 25කට කළින් 1992දී සිදුවෙච්ච කොළොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පැබ්ලෝ එස්කොබාර්ගේ බන්ධනාගාර ගතවීම සහ ඊයේ දවසේදී සිදුවෙච්ච ගරු විදේශ අමාත්‍ය රවී කරුණානායක ඇමතිතුමන්ගේ ඉල්ලා අස්වීම යන සිද්ධි දෙක සැළකුවම, History Repeats Itself කියමනට මේක ඉතා හොඳ උදාහරණයක් ද කියලත් වෙලාවකට හිතෙනවා.

Thursday, August 10, 2017

රවී ගියාම පාඩුව ඉවරද?


රවී කරුණානායක ඇමතිකමෙන් අස්(කළා) වුනා...
බැඳුම්කර වංචාවෙන් රටට සිදුවෙච්ච පාඩුව,
ඒකෙන් ඉවර වෙනවද?
ඒ පාඩුව ආයෙත් ගෙවන්නේ කවදාද?
ඒක ගෙවන්නේ රවීද? 
අර්ජුන් මහේන්ද්‍රන් ද? 
අර්ජුන් ඇලෝසියස් ද?
නැත්තං පොදු මහජනතාව වෙන අපිද?

Friday, July 28, 2017

තොරතුරු තාක්ෂණයෙන් තිරසාර අනාගතයකට - NIBM & MOE Joint Project



ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය (NIBM) සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව උසස්පෙළ සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණයෙන් තිරසාර අනාගතයකට තේමාව ඔස්සේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සම්පත් දායකයෙක් වශයෙන් පසුගිය දිනෙකදී මමත් සහභාගී වුනා. කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් 20කට ආසන්න සංඛ්‍යාවකින් ළමුන් 250කට ආසන්න පිරිසක් එදා සහභාගී වූ බවටයි දැනගන්නට ලැබුණේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳව බොහෝ දේ කතා කෙරුව ඒ සම්මන්ත්‍රණයේදී මගේ අදහස් දැක්වීම දිගහැරුණේ "නිදහස් මෘදුකාංග භාවිතා කළයුත්තේ ඇයි" තේමාව යටතේ. ඒ සම්මන්ත්‍රණයට සහභාගී වූ ළමුන් වගේම ගුරුවරුන්ගෙන් අතිබහුතරයක් පවා මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයේ ඇති වරද පිළිබඳව හරි හමන් දැනුමක් සහිතව සිටි අය නෙවෙයි.


2009 අවුරුද්දෙදි අපේ රටේ ඉන්ස්ටෝල් කරපු මෘදුකාංගවලින් 89%ක්ම මංකොල්ල කන ලද මෘදුකාංග. නමුත් නීතියේ ක්‍රියාත්මකවීම සහ රටපුරා සිදුකරපු වැටලීම් නිසා 2015 වෙනකොට අපේ රට ඇතුළේ භාවිතා වෙන මංකොල්ලකන ලද මෘදුකාංග ප්‍රමාණය 79%ක් දක්වා අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඉතා සාධනීය ලක්ෂණයක්. අපිට මෘදුකාංග සල්ලි දීලා ගන්න තරම් මුදල් හදල් නැතිවෙන්න පුළුවනි. හැබැයි එහෙමයි කියලා මංකොල්ලකාපු හෝ සොරකම් කරපු මෘදුකාංග පාවිච්චි කරන්න අපිට කිසිම අයිතියක් නැහැ!!!


ඒ සම්මන්ත්‍රණයට සහභාගී වූ සැමගෙන්ම මම ඉල්ලා සිටියේ එකම එක දෙයයි. ඔබේ පරිගණකයට Genuine මෘදුකාංගම ස්ථාපනය කරගන්න. ඔබට අවශ්‍ය මෘදුකාංගය මුදල් ගෙවා මිළදී ගන්න තරම් ශක්‍යතාවයක් ඔබට තියෙනවානම් එහෙම කරන්න. හැබැයි එහෙම හැකියාවක් ඔබට නැතිනම්, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා නොකර නිදහස් මෘදුකාංග භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ සිටි පිරිසගෙන් 10%ක් තමන්ගේ ජීවිතේ අවසාන වෙනකම් ප්‍රතිපත්තියක් විදියට තමන්ගේ පරිගණකයට Genuine මෘදුකාංග විතරක්ම ඉන්ස්ටෝල් කරගන්න කටයුතු කරනවානම්, මට ඒ ඇති හොඳටම.

මේ ඡායාරූප එදා දවසේ මතක සටහන් අතරින් කීපයක්.

NIBM හි වෙබ් අඩවියේත් මේ ගැන සටහනක් දමා තිබෙනු පසුව දුටුවා. මෙතනින් ඒ සටහනට පිවිසෙන්න පුළුවනි. 

Wednesday, July 26, 2017

සිපෙට්කෝ වර්ජනය - යහපාලනය සහ අපි!


හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව රජය යටතේ පවත්වාගෙන යැම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක්‌ සම්බන්ධයෙන් ඛණිජතෙල් සංස්ථා සේවකයන් විසින් ආරම්භ කළ වර්ජනය අද මේ මොහොතේදීත් ක්‍රියාත්මකය. එමෙන්ම ඒ වර්ජනයට ප්‍රතිචාර වශයෙන් රජයද මේ මොහොතේදී ඛනිජ තෙල් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්කර කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තයන් හමුදා භාරයට ගෙන ඇත්තේ ය. සිපෙට්කෝ සේවකයන්ගේ මේ සටන කුමක් සඳහා ද? 
මේ වෑයම ඛණිජතෙල් සේවකයන්ගේ වර්ජනය පිළිබඳව මගේ සතපහ ඔබට කියන්නට ය.

ඛණිජතෙල් පොදු සේවක සංගමය මේ වර්ජනය කැඳවන්නේ තමන්ගේ වැටුප් හෝ දීමනා වැඩිකරගැනීමක් වෙනුවෙන් නොවේ ය. එමෙන්ම තමන්ට ලැබීමට නියමිත වරප්‍රසාද හෝ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන්ද නොවේ ය. පැහැදිලිවම ඔවුන්ගේ ඉල්ලීම එකම දෙයක් ය. රටේ සම්පත් වෙන රටවලට විකුණා දැමීම සිදු නොකිරීම ඒ එකම ඉල්ලීම ය.

එජාප රජයයන් විසින් 1978 සිට සිදුකරන ලද ඊනියා පෞද්ගලීකරණයන් ගැන මීට ඉහතදීත් මවිසින් ඇති පදම් ලියා ඇත්තේ ය. ඒ කිසිම පෞද්ගලීකරණයකින් රටට හෝ රටේ ජනතාවට සිදුවූ සේවයක් හෝ ලැබුණ ප්‍රතිලාභයක් හෝ නැත්තේය. සිදුවුනේ එජාප නායකයන්ගේ සහ උන්ගේ ගජමිතුරු තක්කඩි කල්ලියේ මඩිය තරවීම පමණක් ය. ඊනියා සංවර්ධනය මුවාවෙන් එන මඩි තර කරගැනීම එකම අරමුණ කරගත් පෞද්ගලීකරණය ගැන කතා කරන්නවත් එපා ය. කොටින්ම මේ පරගැති #යහපාලන ආණ්ඩුව තිබෙන තුරු පෞද්ගලීකරණය ගැන හිතන්නවත් එපා ය.

2003දීද සිපෙට්කෝවෙන් විශාල කොටසක් Indian Oil Company හෙවත් IOC වෙත පෞද්ගලීකරණයේ නාමයෙන් පවරා දුන් අයුරු අපිට මතකය. රටේ හොඳම ඉන්ධන පිරවුම්හල් 100කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවට පිදුව හැටි අපිට මතකය. සිපෙට්කෝවේ ආදායම අඩුකිරීමට සහ සිපෙට්කෝව පාඩු ලබන ආයතනයක් බවට පෙන්වීමට උං ඒ කාලයේ ක්‍රියා කරපු ආකාරය අපිට හොඳටම මතකය.

සිපෙට්කෝවේ විධායක ශ්‍රේණියක රැකියාව කරන මගේ හිතවතෙකු පැවසූ ආකාරයට, එකී 2003 ගිවිසුම හේතුවෙන් මේ රටේ සිපෙට්කෝ පිරවුම්හල්වලින් පවා අළෙවිවන ඕනෑම ඉන්ධන ලීටරයක ආදායමෙන් 1/3ක් IOCයට ලැබෙන්නේ ය. සිපෙට්කෝවේ දෛනික ඉන්ධන අලෙවිය සහ තවත් බොහෝ වැදගත් ව්‍යාපාරික තොරතුරු ඔවුන්ගේ අභ්‍යන්ත පරිගණක පද්ධතිය හරහාම IOCයට ලබා ගත හැකි ය. මේ සිපෙට්කෝවේ රැකියා කරන්නන් පවසන දේ ය. මේවා සාමාන්‍ය සමාජයේ අපි දන්නේ නැති ය. නමුත් පාවාදීමේ තරම පැහැදිලි කරගන්නට මෙය හොඳටම ප්‍රමාණවත් බව මගේ කියවීම ය.

සිපෙට්කෝ සේවකයින් මේ සටනට බැස්සේ රටේ වටිනාම ආයතනයක මළගමට එරෙහිව ය. මේ වැඩවර්ජනය හේතුවෙන් පෞද්ගලිකව මම ද බොහෝ දුෂ්කරතාවයන්ට මේ මොහොතේදීත් මුහුණ දී සිටින්නේ ය. නමුත්, මේ මොහොතේ ගෙවනා සැපවත් ජීවිතයකට වඩා රටේ අනාගතය මට වටින්නේ ය. රටේ ආයතනවල පැවැත්ම මට වටින්නේ ය.

වර්ථමාන දුර්දාන්ත #යහපාලන රජය විසින් සිදුකරන සිපෙට්කෝව වැනසීම නැවැත්වීම වෙනුවෙන් තමන්ට කළහැකි ඉහළම දේ මේ මොහොතේදී සිපෙට්කෝ සේවකයන් සිදුකරනවා ය. උං සටන් වදින්නේ තමන් වෙනුවෙන් නොව රටේ අනාගතය වෙනුවෙන් ය. අපේ වගකීම මේ මොහොතේදී උං තනි නොකිරීමය.

සිපෙට්කෝ සේවක සහෘදයිනි, නුඹලාගේ මේ සටන ජයග්‍රාහීව අවසන් කරන තුරු අපි නුඹලා අතහරින්නේ නැති ය. රටේ හෙට දවස වෙනුවෙන් මේ සටන ජයගන්නට නුඹලාට යෝධබල යෝධ වීරිය ලැබේවායි අපේ එකම ප්‍රාර්ථනාවය.

සිපෙට්කෝ සටනට ජයවේවා!!!

Tuesday, July 11, 2017

ඩෙංගු, පරිපූරක ඇස්තමේන්තු සහ යහපාලනය!



මේ එල්ලා ඇති ඡායාරූපයේ දකුණු පස තිබෙන්නේ පසුගිය ජූනි 28 වෙනිදා මීගමුව මූලික රෝහලේ දර්ශනයක් ය. ඡායාරූපයේ මැද ඉන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාය. එතුමාගේ වම්පසින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ය. මීගමුව රෝහලේ වාට්ටුවක එකම ඇඳේ දෙපැත්තට පොඩි ළමයි දෙන්නෙක් නිදාගෙන ඉන්නේ ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී ඉතිරී ගොස් ඇති නිසාය. එක ඇඳක ලෙඩුන් දෙදෙනෙක් නොව ඇඳන් යට, රෝහල් බංකු මත සහ රෝහලේ කොරිඩෝර්වලද පැදුරු එලාගෙන, රෙදි එළාගෙන ලෙඩුන් සිටි ආකාරය අපි දැක්කේය. ඒ ඩෙංගු නිසා අපේ රටේ අපේ මිනිස්සු දුක් විඳින විදිය ය. 

ඡායාරූපයේ දකුණුපැත්තේ තියෙන්නේ පහුගිය ජූලි 08වෙනි සෙනසුරාදා දවසේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළවෙච්ච ප්‍රවෘත්තියක් ය. එයට අනුව ඇමතිවරු කීපදෙනෙකුට වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 20ක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉඳිරිපත් කර ඇත්තේය. මේ වාර්ථාවට අනුව සමහර ඇමතිලාගේ නිවාස "අලුත්වැඩියාවට" ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි 2කට අධිකය. සරළවම කියනවානං, මේ අපේ රටේ පාලක පැලැන්තිය මේ වෙලාවේ හැසිරෙන ආකාරය ය.

මිනිස්සු දහස් ගණන් මුදල් ගෙවා පෞද්ගලික රෝහල්වලින්, රුධිර පර්යේෂනාගාරවලින් රුධිර පරික්ෂා, ඩෙංගු පරික්ෂා කරගන්නේ රජයේ රෝහල්වල ඒ පරික්ෂාවන් කරන්නට ප්‍රමාණවත් තරම් පහසුකම් නැති නිසා ය. මිනිස්සු ස්වේච්ඡාවෙන් එක් රැස් වී මුදල් සම්මාදම් කර රජයේ රෝහල්වල වාට්ටුවලට මදුරු දැල් මිලදී ගෙන දෙන්නේ, වෙනත් වෛද්‍ය උපකරණ මිලදී ගෙන දෙන්නේ රජයට තමන්ගේ මහජනතාව වෙනුවෙන් කරන්නට අවශ්‍ය ඒ වගකීම නිසිපරිදි ඉටු කරන්නට නොහැකි නිසා ය. මිනිස්සු තමන්ගේ පෞද්ගලික ධනයෙන් පොදු ස්ථානවල ශ්‍රමදාන/දුමායන කටයුතු සිදුකරන්නේ රජයෙන් ඒ සඳහා ප්‍රමාණවත් තරම් අරමුදල් නොලැබෙන නිසාය. රටේ පොදු මහජනතාව වෙනුවෙන් වසංගත අවස්ථාවකදීවත් වෙන් කරන්නට රජයට ප්‍රමාණවත් තරම් මුදල් නැත්තේය. රජය වියදම් කරන්නේ නැත්තේ ඒ නිසාය.

නමුත් ඇමතිවරු දෙදෙනෙකුට, නියෝජ්‍ය ඇමතිවරයෙකුට, ආණ්ඩුකාරවරයෙකුට තවත් කීපදෙනෙකුට කෝටි ගණන් වටිනා වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට ඇති පදම් මුදල් තියෙන්නේය. ඇමතිවරුන්ට මේ වාහන අරගෙන දෙන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන පර්මිට් එකට අමතරව බව යළිත් අපි මතක් කරගත යුතුමය. සරළවම පවසනවා නම් පාලක පැලැන්තියට වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා ය.

මීගමුව රෝහලේදී "ඔබතුමන්ලාට අවශ්‍ය සියළු පහසුකම් අපි කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා" යැයි ජනාධිපතිතුමා පවසා ඇත්තේය. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස්ද එතුමා දෙන්නට ඇත්තේය. හැබැයි මීගමුව ඩෙංගු වාට්ටුවේ සහ රටේ රජයේ රෝහල් සියල්ලකම පාහේ අදටත් තත්ත්වය ජූනි 28වෙනිදා තිබූ තත්ත්වයමය. ඒකේ කිසිම වෙනසක් නැත්තේය. ඊට හරියටම සුමානයකට පස්සේ රුපියල් කෝටි 20ක් ඇමතිලාගේ පරිභෝජනයට වෙන් කරන්නේද ඒ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවය.

ඒ රුපියල් කෝටි 20න් වාට්ටු කීයක් හදන්න පුළුවනිද, වාට්ටු කීයකට ඇඳන් දෙන්න පුළුවනිද, පරික්ෂා කටයුතුවලට අවශ්‍ය උපකරණ දෙන්න පුළුවනිද, ශ්‍රමදාන/දුමායන කටයුතුවලට අනුග්‍රාහකත්වය ලබාදෙන්න පුළුවනිද කියා මම කියන්න යන්නේ නැහැ ය. කියලා වැඩකුත් නැත්තේය.

මිත්‍රවරුණි, විප්ලවය සිදුකළ යුත්තේ මෙවන් කාළකණ්ණි පාලක පැලැන්තියෙන් ජනතාව මුදාගැනීම සඳහා ය!!!

Friday, June 30, 2017

 
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ,
ලයගින් සනහා අපමයි තැවුනේ,
ජන්මෙන් ජන්මේ රැව්දීලා,
ඔබ මා නෙතඟේ රැඳුනා...

Sunday, June 25, 2017

මම කැමති සිංදු 10ක් | 10 Songs I Love

ෆෝන් එකෙන්, කොම්පියුටරෙන්, බස් එකේ හරි වාහනේක හරි යද්දි ඒකේ රේඩියෝ එකෙන් අහන/ඇහෙන ගීත ගොඩක් ඒවා යන්තමින් හරි මතක හිටිනවා. ඒ ගීත අතරින් කැමතිම ගීත 10ක් විතරක් තෝරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත්, යම් උත්සාහයක් දැරුවා ඒ වෙනුවෙන්. මේ අනුපිළිවෙල කැමතිම අනුපිළිවෙල නෙමේ. මතකෙට ආව අනුපිළිවෙල
කිව්වොතින් නිවැරදියි...

1. සඳමිතුරී - කසුන් කල්හාර
මීට අවුරුදු ගාණකට කළින් ඉඳලා අද වෙනකම්ම මම කැමතිම ගීතය. මේක දෙමළ සිංදුවක රීමේක් එකක් කියලා බොහෝ දෙනෙක් කිව්වට, මට මේ ගීතය බොහොම ආදරණීයයි. දැනට දහස්පාරකට වඩා අහලා ඇති. ඒත් කවදාවත් මේ ගීතයේ වචන මතක නැහැ. ඒකට හේතුව මේක අහද්දි හිතෙන් මම වෙනම ලෝකෙකට යනවා. ආයේ පියවි සිහියට එන්නේ ගීතය ඉවර උනාට පස්සේයි. එහෙම දැනෙන ගීත හරි අඩුයි.





2. මට රවනා - ලහිරු පෙරේරා
නව පරපුරේ ගායකයන්ගෙන් මම කැමතිම ගායකයා තමයි ළහිරු පෙරේරා. ළහිරු පෙරේරාගේ මේ ගීතයත් මම බොහොම කැමති එකක්. මහ තේරුමක්වත් සුපිරි මියුසික්වත් නොතිබුණාට මේ ගීතයේ තියෙන සංගීත සංයෝජනය ඉතා ඉහළයි. මට සෑහෙන්න දැනෙන ඒ වගේම නිතරම මුමුණන ගීතවලින් එකක් මේක.




3. දස බිම්බර මාර සෙනඟ - සෝමතිලක ජයමහ ශූරීන්
මම කැමතිම බොදු බැතිගීය තමයි මේ ගීතය. මේ ගීතයත් එක්ක මැවෙන විත්ත රූපය මහ අමුතුම එකක්. මේ ගීතය මගේ හිතේ හැමදාම තියෙන ගීතයක් වෙන්න සෝමතිලක ජයමහ මහතාගේ ලයාන්විත ගායනය අනිවාර්ය හේතුවක්.



 
4. සසර සැරිසරන තෙක් - වික්ටර් රත්නායක
මම කැමතිම ප්‍රේම ගීතය තමයි මේ සිංදුව. මේ සිංදුව මුලින්ම ගායනා වෙද්දි මම දන්න තරමින් මම ඉපදිලත් නැහැ. නමුත් අද මගේ ජීවිතේ 3වෙනි දශකය ගෙවද්දිත් මට මේ සිංදුව විඳින්න පුළුවනි. ඒ තරමට මේ ගීතය මාරම ලස්සනයි. මේ ගීතයේ ඔරිජිනල් එකට වගේම Dell Studio එකේදි අලුතෙන් කරපු එකටත් එක වගේ කැමතියි.





5. Gimme Hope Jo'Anna - Eddy Grant
මෙ ගීතය මට මුලින්ම ඇහෙන්නේ 1990දී විතර. ගීතයේ කිසිම දෙයක් තේරුණේ නැතත් ඒකේ සංගීතය මගේ හිතේ සදහටම තැන්පත් වෙනවා. ආයේ මේ සිංදුව අහම්බෙන් ඇහෙන්නේ 2007/08 කාලෙදි. එදා ඉඳලා අද වෙනකං මම හැමදාම අහන සිංදු එකතුවේ මේ ගීතය තියෙනවා.
මේ ගීතය පදනම් වෙන්නේ දකුණු අප්‍රිකාවේ (ගීතය නිකුත් කරපු කාලේදී දැඩිව තිබුණ) වර්ණබේදවාදය පිළිබඳව. වර්ණබේදවාදය හරහා කළු ජාතිකයන්ව පාගලා දාන හැටි සහ කළු ජාතිකයන් නැගිටින්න හදන හැටි ගැන බොහොම ලස්සනට මේ ගීතයෙන් කියවෙනවා. මට මේක All Time ගීතයක්.




6. සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක
මේකත් මම බොහොම කැමති ප්‍රේම ගීතයක්. මාව වෙනම ලෝකෙකට ගෙනියන්න මේ සිංදුවටත් මාරම හැකියාවක් තිබෙනවා. Dell Studio වර්ෂන් එකට තමයි කැමතිම.




7. තෙරේ බිනා [Tere Bina] - ඒ. ආර්. රහුමාන් | චිනාමයී
2007 අවුරුද්දෙදි එළිදක්වපු මනිරත්නම්ගේ ගුරු චිත්‍රපටියේ තිබෙන ගීතයක් මේක. මේ ගීතයේ සංගීත සංයෝජනය සහ ගායනය කියන හැම දේම විශිෂ්ඨයි. සංගීතවත් කරලා තියෙන්නේ ඒ. ආර්. රහුමාන්. ගායනය කරන්නේ රහුමාන්, චින්මයී, මුර්ටුසා කාන්, ක්වාදීර් කාන් යන පිරිස. මම බොහොම කැමති හිංදි ගීතයක් මේක.




8. Firework [Katy Perry] cover by Karmin
කේටි පෙරී කියන ඇමරිකානු පොප් ගායිකාව මුල් ගායනය කරපු ගීතය, Karmin කියන සංගීත කණ්ඩායම විසින් cover එකක් විදියට නිකුත් කරනවා. මේ Cover ගායනයට තමයි මම කැමතිම. මුල් ගායනයට වඩා Cover එකෙන් මේ ගීතයට විශාල සාධාරණයක් කරලා තියෙනවා කියන එකයි මගේ අදහස. මේ ගීතයේ පද මාළාව බොහොම ප්‍රභලයි. ඒ ප්‍රභලකම බොහොම අපූරුවට Karminලා හරහා එළියට එනවා.




9. Love The Way You Lie - Eminem ft. Rihanna
රැප් සිංදුවලින් මම කැමතිම සිංදුව මේක. මතුපිටින් බොහොම සරළ ගීතයක් කියලා හිතුනට රැප් එකේ වචන අතර එහා මෙහා යද්දි ඒකේ ලොකු කතාව දැනෙන්න පටන් ගන්නවා. ඒ අකුරුවලට Eminem පණ පොවන විදිය විශිෂ්ඨයි. බොහොම දරුණු විදියට අපේක්ෂා භංග වෙලා ඉන්න ප්‍රේමවන්තයෙක්ගේ හැඟීම ඔහු බොහොම අපූරුවට එළියට ගේනවා. ඒක මහ අමුතුම හැකියාවක්. වේගරිද්ම සංගීතය එක්ක Eminemගේ බලපොරොත්තු කඩවුන, කෝපයෙන් දැවෙන හඬ සහ Rihannaගේ ශෝකාකූල හඬ බොහොම හැඩට ගැලපෙනවා.




10. Smells Like a Teen Spirit [Nirvana] - Violin Cover by David Garret
Nirvana Rock Band එකේ නායක Kurt Cobianගේ Smells Like a Teen Spirit ගීතය ලෝක රොක් සංගීත ඉතිහාසයේ ඉහළම තැනක තියෙන ගීයක්. හැබැයි ඒ ඔරිජිනල් ගීතයට වඩා මම කැමතිම David Garret කියන ජර්මානු වයලීන් ශිල්පියාගේ Violin Cover එකට. Cobianගේ ගීතය ඔහු වයලීනයෙන් ආයෙත් ප්‍රතිනිර්මාණය කරන අපූරුව වචනයෙන් ප්‍රකාශ කරන්න මගේ සිංහල දැනුම ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රතිනිර්මාණය ඒ තරමටම විශිෂ්ඨයි. ඒ වගේම ප්‍රභලයි. ඇඟේ ඇඩ්‍රිනලීන් වැඩිකරගන්න ඕනේ වෙලාවට මම නොවැරදීම අහන සංගීතයක් මේ.




මීට අමතරව අමිල නිදහසගේ "Black Male", වික්ටර් රත්නායකයන්ගේ "දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ", Enrique Iglesiasගේ "Hero", "Somebodys Me", ජගත් වික්‍රමසිංහගේ "සුදු රුවිනී", කසුන් කල්හාරගේ "තරු කැටයක් වී", සේනානායක වේරලියද්දගේ "සාගරය බඳු වේදනාවෝ [Dell Studio]", "මීන නුවන් යුග [Dell Studio]" වගේ ගීත මේ ලිස්ට් එකට එකතු විය යුතුමයි.

මම මුලිනුත් සඳහන් කරපු විදියට මේ ගීත ලැයිස්තුව බොහොම අසම්පූර්ණ උත්සාහයක්. නමුත් නිකමට හරි මෙහෙම ලැයිස්තුවක් හදාගෙන තියෙන එකේත් නරකක් නැහැ.

Thursday, June 22, 2017

අන්තරේ ළමයින් වෙත කරුණාවෙන්....



රජයේ අමාත්‍යංශයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පරිපාලනයට බාධා කරනවිට රජයේ හමුදාවන් හෝ පොලීසිය පැමිණ ඔබට ධර්මය දේශනා කර සාමකාමීව ඔබව එයින් ඉවත් කරාවියි කියා ඔබ හිතනවානම්, මට කියන්නට තියෙන එකම දෙය වන්නේ කරුණාකර සිහිනෙන් අවදිවෙන්න ළමයිනේ කියා ය. මේ රටේ හෝ මේ ලෝකේ කිසිම තැනකදී එහෙම වෙන්නේ නැත.

නුඹලා ඊයේ දවසේ සිදුකරනු ලැබූ ක්‍රියාව අත්‍යන්තයෙන්ම වැරදි ය!!! ඒ ගැන කිසිම කතාවක් නැත. නුඹලා විසින් ඔය ඉතාම ක්‍රමානුකූලව සිදුකරනු ලබන්නේ නුඹලා පෙනී සිටින කරුණ වෙනුවෙන් ඇති ජනතා සහය නැතිකරගැනීම පමණකි. පොදු මහ ජනතාවගේ සහයකින් තොරව පොදු සටන් ජයග්‍රහණය කළ නොහැකි බව නුඹලාට යළි මතක් කරමි. ඔය සටන් උපක්‍රමය මේ සටනේදී ඵලදායක වන්නේ නැත!!!

ඊයේ දවසේ ඒ සිදුවීමත් සමඟම අත්දකින්නට ලැබුණ අනිත් ජුගුප්සාජනකම කරුණ වන්නේ මීට වසර තුනකට හතරකට පෙර, නුඹලාගේ උද්ගෝෂණවලට පොලිස් ප්‍රහාර එල්ලවීමේදී ෆේස්බුක් අවකාශය පුරා කඳුළු වගුරවමින් හඬා වැළපුණු සහ ඒ දේවල් හුවා දක්වමින් #යහපාලනයක් ගෙන එන්නට කැපවුනු හොරිකඩ තුප්පහි අමන හැතිකරේ වර්ථමාන ක්‍රියාකාරීත්වයයි. නුඹලාට පහර දුන් පොලිස් නිලධාරීන්ට වඩා සතුටක් ඔවුන් ඒ පහරදීමේ ඡායාරූප/වීඩියෝ හරහා ලබනා වග ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් පිළිබිඹු වෙන බව නුඹලාත් දකින්නට ඇතැයි සිතමි. උං සැබවින්ම නියෝජනය වෙන කඳවුර කුමක්දැයි නුඹලාට පැහැදිලි ඇතැයි සිතමි. ඊට එහා ඒ ගැන කතාකිරීමවත් අනවශ්‍ය බව මගේ අදහසයි...

නුඹලාගේ සයිටම් සටන සාධාරණ බව යළිත් කියමි. සටන සාධාරණ නමුත් සටන් ක්‍රමවේද අසාධාරණනම් ඒ සාධාරණ සටනෙන් ඵලක් නැතිබව යළිත් කියමි.

සයිටම් විරෝධී සටනේදී අපි තවමත් සිටින්නේ නුඹලාගේ කඳවුරේ බව කියමි. නමුත් නුඹලාගේ මේ ක්‍රියාකාරීත්වය නිසා නුඹලාට අපේ කුලකයේ බොහෝ දෙනෙකුගේ සහය ක්‍රම ක්‍රමයෙන් අහිමිවෙන බව පමණක් අවසාන වශයෙන් සඳහන් කරමි.

නුඹලාගේ සයිටම් විරෝධී සටන දිනේවා!!!

Tuesday, June 20, 2017

ඔබට සුබ උපන්දිනයක් වේවා | Wish You a Very Happy Birthday Sir



මගේ මතකය නිවැරදි නම්, මම ඔබ ගැන මුලින්ම දැනගන්නේ 2006 දෙසැම්බර් පළමුවැනිදා. ඒ කොල්ලුපිටිය පිත්තල හංදියේදී ඔබට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ විස්තරයත් සමඟයි. ඒ වෙද්දී ඔබ ඔබගේ ධූරයේ එනම් "ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්" ධූරයේ වැඩ භාරගෙන හරියටම අවුරුද්දක්. ප්‍රභාකරන් ආවට ගියාට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දේශපාලන ඉලක්ක වෙත එවන එකෙක් නෙමෙයි. නමුත් ඔබ වෙනුවෙන් ඔහු බෝම්බකරුවෙක් එවනවා. ඒ ඔහුගේ ගමනට ඔබ මහා බාධාවක් බව අවුරුද්දක් යද්දීම ඔහුට දැනුන නිසා යි. ඉන් එහාට 2009 මැයි 18 වෙනකම් කාලය අයිති වන්නේ ඉතිහාසයට යි. අවුරුදු 30ක් මේ රට වසාගෙන සිටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ ඒ වසර කීපය ගැන ඉතිහාසය හැමදාම සාක්ෂි දරයි.

 ඉන්පසුව මම යළිත් ඔබව දකින්නේ 2010දී "රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්" ලෙස යි. කිසිදා සුව නොවෙන තුවාලයක් විදියට අපි දැකපු කොළඹ නගරයේ පදික වේදිකා වෙළඳාමේ ගැටළුවට ඔබ මැදිහත්ව "ස්ථිර" විසඳුමක් ලබාදෙන විදිය මම දැක්කා. කොළඹ නගරයේ තිබුණ ගරා වැටුන ගොඩනැගිලි, පදික වේදිකා, උයන්වතු සහ තවත් බොහෝ තැන් නව පෙනුමක් ලබාගෙන, තිරිහන් වෙලා ජනීජනයා ගැවසෙන සහ සංචාරක ආකර්ශනය හිමිවෙන තැන් බවට පෙරලෙන ආකාරය මම දැක්කා. රටේ අග නගරය දැඩිව වෙළාගත් කුණු ප්‍රශ්නය ක්‍රම ක්‍රමයෙන් විසඳෙන ආකාරය මම දැක්කා. ගෝඨාභය කියන්නේ යුද්ධෙ විතරක් නෙමේ වෙන ඕනෑම වැඩක් දන්න, වැඩේ හරියට කරන පුද්ගලයෙක් බව ඔබ ක්‍රියාවෙන්ම ඔප්පු කරන ආකාරය මම හොඳින්ම දැක්කා.

විවිධාකාර පුද්ගලයන් විවිධාකාර අවකාශවල, වේදිකාවල ඔබට කරන චෝදනාත් මම දැක්කා. මිනී මෝරුන්, සුදු වෑන්, අතුරුදහන් කිරීම් පිළිබඳව චෝදනාවන් දහස් ගණනක් ඒ මේ අත පාවෙනු වසර ගණනාවක සිටම මම දැක්කා. අද ඔබ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නෙමේ. නිකංම නිකං ගෝඨාභය රාජපක්ෂ. නමුත් අදටත් ඔබට විරුද්ධව ඇති ඒ චෝදනා එකක්වත් ඔප්පුකරගන්නට ඒ චෝදනාකරුවන්ටවත් ඒ චෝදනා සමාජගත කළ පුඟුලන්ටවත් හැකිවී නැති බවත් මම දකිනවා. හෙටත්, තව අවුරුදු 10කිනුත් ඒ චෝදනා හිස් වචන පමණක් ලෙසින් අවකාශයේ තැන් තැන්වල තිබෙනු ඇතැයි කියන එකයි මගේ විශ්වාසය. මේ ලෝකය කැරකෙන්නේ ඒ විදියට බව ඔබ දන්නවා ඇති. වැඩක් කරන මනුස්සයාට සහයට සිටින්නේ එකෙක් විතරක් වෙනකොට, ඔහුට විරුද්ධව 10ක් ඉන්න එක මේ ලෝකේ කවදාවත් වෙනස් නොවෙන ඇත්තක්.

ඔබ බලවත්ව සිටි කිසි දවසක මම ඔබ වෙනුවෙන් එක අකුරක්වත් ලිව්වේ නැහැ. එදා ඔබට ප්‍රශස්ති ගැයූ, ඔබ වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා අද ඔබ සමඟ නැහැ. නමුත් අද ඔබ වෙනුවෙන් මම මගේ අකුරු වෙන් කරන්නේ බලය තිබුණත් නැතත් ඔබ මේ රටේ ජනතාව විසින් රැකගැනීමට අවශ්‍ය චරිතයක් බව මම විශ්වාස කරන නිසාමයි.

මගේ ජීවිත කාලය තව අවුරුදු 30කින් 40කින් ඉවර වෙයි. ඒ වෙද්දි මේ තියෙන තත්ත්වෙන් මේ රට ඉඳිරියට ගිහින් තියෙනවා දකින එක මගේ සිහිනයක්. මගේ ඒ සිහිනය මහපොළොවේ යථාර්ථය බවට පත්කරන්නට හැකි පුද්ගලයා ඔබ බවට මට තියෙන්නේ දැඩි විශ්වාසයක්. ඔබ මේ රටට අවශ්‍ය චරිතයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට සුබ උපන් දිනයක්. චිරං ජයතු!!!

Monday, June 19, 2017

පෙම රසයි රසයි, රහසින් හන්දා...


සසරක යන වග,
දැනගත යුතු මග,
කොතනක ඉම...


දැනුනත් නොදැනී,
හැඟුනත් නොහැඟී,
ඉමු අපි, අද වී...


සෙනෙහෙන් ඉපිලී - හැඟුමන් ඉතිරී,
ප්‍රේමය රස වූ - දසතේ පවුරූ,
රහසින් හන්දා...


මලකුත් තිබුණා,
හැඟුමන් හංගා,
එය හඳුනාගත් බඹරෙකු රිංගා...
වෑකුළු උයනේ දොරගුළු බින්දා
පෙම රසයි රසයි, රහසින් හන්දා...
රහසින් හන්දා....

Wednesday, June 14, 2017

අනෝරා වැස්ස පරයන කරුණාවේ පියැස්ස



මීට සුමාන දෙකකට කළින්, රටෙන් දිස්ත්‍රික්ක අටක් සහ ඒ දිස්ත්‍රික්ක අටේ වාසය කරන ලක්ෂ කීපයක ජනතාවක් විපතට පත්වුනේ පැය කීපයක කාලයක් ඇතුළේදීයි. ඒ අයහපත් කාළගුණය හේතුවෙන්. ඉතිහාසයේ සිදුවෙච්ච විශාලතම ස්වභාවික ව්‍යසනයන් කීපයෙන් එකක් වෙච්ච ඒ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතයෙන් සමුගත්ත සංඛ්‍යාව දෙසීයකට අධිකයි. සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස ගණන, හානි වූ දේපොළවල වටිනාකම්, තාම ගණන් බලලා ඉවර නැතුව ඇති. 




මේ මහා ස්ව්භාවික ව්‍යසනය එක පැත්තකින් සිදුවෙද්දි, එයින් ආපදාවට ලක්වූවන්ට සහන සැළසීම වෙනුවෙනුත් පෙරට ආවේ මේ රටේ ජනතාවම තමයි. තමන්ගේ ආහාර වේලේ ඉඳන් පරිත්‍යාග වශයෙන් ලබාදෙන්න පුළුවන් සියළුම දේවල් තමන් ඇහැටවත් දැකලා නැති ජනතාව වෙනුවෙන් මේ රටේ මිනිස්සු ලබාදුන් හැටි අපි පහුගිය කාලේ අන්තර්ජාලය සහ ප්‍රධාන මාධ්‍ය තුළින් නිරන්තරයෙන් දැක්කා. ඒක තමයි ශ්‍රී ලාංකිකයන්ගේ හැටි.



රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මූලිකත්වයෙන් රද්දොළුගම 82' Alliance සමාජය, රද්දොළුගම තුළ ක්‍රියාත්මක වෙන සියළුම සුබ සාධක සංගම් සහ අනෙකුත් සංවිධාන, රද්දොළුගම පොලීසිය යන මේ සියළුම දෙනා එක්ව මේ ආකාරයේම භාණ්ඩ එකතුකිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුනා. රද්දොළුගම නිවාස සංකීර්ණයේ සහ රද්දොළුගම අවට ගම්මානවල වාසය කරන අනෙකුත් ජනතාවත්, රුපියක් ලක්ෂ කීපයක වටිනාකමකින් යුත් වියළි ආහාර, පානීය ජලය, මෙට්ට, රෙදිපිළි, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් නිවසකට අවශ්‍ය ද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් භාර දුන්නේ මේ අභාග්‍යසම්පන්න අවස්ථාවේදී තමන්ගේ යුතුකම පැහැර නොහරිනබව මොනවට පසක් කරමින්.



දවස් 9ක කාලයක් තිස්සේ එකතු කරපු ඒ භාණ්ඩ, නායයෑමෙන් සහ ගංවතුරෙන් දැඩිලෙස විපතට පත් මාතර මොරවක කන්ද සහ කොටපොළ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් කීපයක ජනතාව වෙත බෙදාදීම සඳහා දින නියම වුනේ පසුගිය ජූනි මස 11වෙනි ඉරිදා. එදා හිමිදිරි පාන්දරම රද්දොළුගමින් පිටත් වෙන ආධාර රැගත් ලොරි රථ දෙක උදෑසන 10 පමණ සිට මොරවක කන්ද, උසමළගොඩහේන, ලිඳගාවහේන කොටපොළ උතුර, කොටපොළ දකුණ යන ප්‍රදේශවල ජනතාව වෙත තමන්ගේ සහෝදරත්වයේ ආධාර ලබාදුන්නේ ඒ ජනතාවගේ සිතට යම් හෝ සැනසිල්ලක් ගෙන දෙමින්. ඔවුන්ට නැතිවූ දේවල් මේ පරිත්‍යාගයන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ අඩුව පුරවන්න අපිට කවදාවත් බැහැ. නමුත්, මේ විපත්තිදායක අවස්ථාවේදී ඔවුන්ගේ හයියට අපිත් ඉන්නවා කියන පණිවිඩේ ඔවුන්ට මහ මෙරක්.



 
මේ මහා සමාජ සත්කාරයට නන් අයුරින් දායක වූ සියළුම දෙනාට අපේ ගෞරවණීය ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නටත් කැමතියි. ඔබේ මාහැඟි පරිත්‍යාගයන් නොවන්නට, ඒ ජනතාවට සවියක් වන්නට අපිට හැකියාවක් නොලැබෙන්නට තියෙන ඉඩ බොහොම වැඩියි.
මෙවන් විපත් යළිත් මේ රටේ සිදුවෙන්න එපා කියන එක තමයි අපි හැමෝගේම එකම පැතුම. නමුත්, කවුරුන් හෝ කෙනෙක් විපතට පත්වී සිටිනවානම්, නිසැකවම අපි ඒ අය වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරනවා. ඒක ස්ථීරයි!