Friday, February 24, 2017

කැස්බෑ සංරක්ෂණය සහ අපේ රට!


අපේ රටේ දකුණු පළාතේ වෙරළ තීරය දිගටම "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන" නමින් පවත්වාගෙන යන තැන් ගැන ඔබ විස්තර අසා දැන තියෙනවාට කිසි සැකයක් නැහැ. සාමාන්‍ය ගෙවල්, හෝටල් හෝ සිමෙන්ති ටැංකි දෙක තුනක් අටවගන්න ඉඩකඩ තියෙන ඔනෑම ගුබ්බෑයමක "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය" කියන බෝඩ් එකට මුවාවෙලා පවත්වාගෙන යන හොර ජාවාරම් ගුහා ඔය කළාපයේ බහුලවම දැකගන්න පුළුවනි.

පහුගිය අවුරුදු 20ක විතර කාලයක ඉඳලා "සංරක්ෂණය" කියන වචනෙට මුවාවෙලා පවත්වාගෙන යන මේ ව්‍යාපාරය, අපේ රටේ නීතියට අනුව සම්පුර්ණයෙන්ම වගේ වැරදි සහගත ක්‍රියාකාරකමක් වූවත් විවිධාකාර බලපුළුවන්කාරකම් සහිත පුද්ගලයන්ගේ ආධාර, අනුශාසනා, ආශිර්වාදය නිසා, අදටත් කිසිම බාධාවක් නැතුව සිද්ධ වෙන්නේ කැස්බෑවොන්ගේ හෝ අපේ කරුමෙකටම තමයි. 



පරිසරවේදීන් කියන විදියට ලොව සාගරවාසී කැස්බෑ විශේෂ හතෙන් පහක්ම බිත්තර දැමීම සඳහා අපේ රටේ වෙරළ තීරයන් කරා එනවා. මේ විදියට මුහුදු වෙරළේ කැස්බෑවෝ දාන බිත්තර එක්කහු කරලා ඒවගෙන් එන පැටව් මුහුදට මුදාහරින එක වගේම විවිධ අනතුරු නිසා ආබාධිත වෙච්ච කැස්බෑවෝ රැකබලාගැනීම තමයි "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින්" සිදුවෙන්නේ. මේ වැඩසටහන් නිසි ආකාර පාලනයකට යටත්ව සිදුකරවනවා තියා, රටේ ක්‍රියාත්මක වෙන නීතියට අනුවවත් නිසි ආකාරයේ නියාමනයක් සිදු නොවෙන නිසා "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ගුබ්බෑයම්" ඇතුළේ සිදුවෙන නොමනා ක්‍රියාකාරකම් ඉතා බොහෝ යි.

මේ සිදුකරන්නේ කැස්බෑ සංරක්ෂණයක්ද ?

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන මිනිස්සු, ඒ අවට ප්‍රදේශයේ සිටින ධීවරයන් ඇතුළු වෙනත් පුද්ගලයන් හරහා තමන්ගේ මධ්‍යස්ථානයට කැස්බෑ බිත්තර ගෙන්වා ගැනීම සිදුකරනවා. ඒ සඳහා බිත්තරයකට රුපියල් 30 ක පමණ මුදලක් ඒ ගෙනත් දෙන කෙනාට ලබා දෙනවා. ඒ වගේම බිත්තරේ අයිති කැස්බෑ විශේෂය අනුව මේ මුදල වෙනස් වෙනවා. පේන විදියටනම් මේ වැඩේ කිසි නරකක් නැහැ, නමුත් හානිදායක දේවල්වල මූලාරම්භය මේකයි.

එහෙම කියන්න හේතුව මොකක්ද?

පරිසරවේදීන් කියන විදියට ස්වාභාවිකව පවතින බිත්තර කූටීරයක් විවිර කර බිත්තර එලියට ගැනීමේදි කැස්බෑ බිත්තර නිරාවරණය වන පරිසර තත්වයන් විචලනය වීමකට ලක්වෙනවා. මෙය බිත්තරවල ගොනුවෙහි සංයුතිය වෙනස් වීමට බලපෑම් ඇති කරනවා. කැස්බෑවුන් කියන්නේ චලතාපී සත්ව කොට්ඨාශයක්. බිත්තර කුටීරය තුල පවතින උශ්ණත්වය වගේම බිත්තර ස්ථානගත වී ඇති ආනතිය බිත්තරය තුල ඇති කලලයේ ලිංගිකත්වය තීරණය කිරීමට බලපාන සාධක. ඒ වගේම බිත්තර කුටීරයේ ගැඹුර සහ හැඩය විශේෂය‍ෙන් විශේෂයට වෙනස්කම් දරණවා. නමුත් බිත්තර එකතු කර නැවත "සංරක්ෂණ මධ්‍යස්ථාන" ඇතුළේ වල දමන පුද්ගලයන් හට මේගැන සතේක අවබෝධයක් නැහැ. ඒ වගේම එයාලට මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට උවමනාවකුත් නැහැ. මේ නිසා බිත්තර ගොන්නකින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් අතරේ ලිංගිකත්වය‍ෙ අතිශයින් අසම ව්‍යප්ත අනුපාතයක් හටගන්නවා. එම නිසා සංරක්ෂණ මධ්‍යස්ථාන තුළදි බිත්තර වලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් 97% පිරිමි පැටවුන් වීම සහ ගැහැණු පැටවුන් අතිශයින්ම දුර්ලභ වීමද සිදුවී තිබෙනවා. මේ අවස්ථාව‍ෙන් ප්‍රයෝජන ගන්නේ සංරක්ෂණ මධ්‍යස්ථාන ජාවාරම්කරුවන්. ඔවුන් ගැහැණු පැටවුන් දුර්ලභ බැවින් ඉපදුනු පසුව සාගරයට මුදා හැරීම සිදු කරන්නේ නැතුව සිමෙන්ති ටැංකියක වසර පහක් පමණ කාලයක් තියා ගන්නවා. ඒ වගේම මධ්‍යස්ථාන තුළ හදන කෘතිම කුටීරවල නැවත බිත්තර තැන්පත් කිරීමේදි බිත්තර අතර දුර ප්‍රමාණය මිනුමට ලක් නොකිරීම හේතුවෙන් එක් බිත්තරයක උෂ්ණත්වය ලඟ ඇති අනෙකට බලපෑම් සිදුකරන අතරම දිලීර බැක්ටීරියා ආසාධන පැතිර ගිහින් මරණ අනුපාතිකය ඉහල දැමීමද සිදුවෙනවා. මේකද සංරක්ෂණේ?

බිත්තර සිද්ධිය විතරද සිදුවෙන්නේ?

පරිසරවේදීන් කියන විදියට ස්වාභාවික තත්වයන් වලදී බිත්තර කුටීරයෙන් ඉවතට පැමිණෙන කැස්බෑ පැටවුන් ඉතාමත් කඩිනමින් වෙරළේ සිට මුහුද කරා ඇදී ගොස් පැය 48 ක් පමණ එක දිගට පිහිනීම සිදුකරනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ බාලක උන්මාදය/ළදරු උන්මාදය (juvenile frenzy) විදියටයි. පරිණාමය විසින් දායාද කර ඇති ශක්තිවන්තයා පමණක් ජීවත්වීමට උචිත විමට නම් මේ කඩයිම කැස්බෑ පැටවුන් පසුකල යුතුමයි. මෙලෙස අඛණ්ඩව පැය ගනනාවක් පිහිනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්නේ බිත්තරයෙන් ලැබෙන පෝශණය මඟින්. ගැඹුරු මුහුද කරා පිහිනා යන මේ පැටවුන් විවේකය ලබන්නේ පැය 48 පසුවීමත් සමඟයි. ඉන්පසු ඔවුන් ආහාර සොයා යෑම අරඹනවා. මේ ගමන අතරතුර විවිධ උවදුරු මත විනාශ වන පැටවුන් සංඛ්‍යාව අධික වුවත් සැලකියයුතු ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය රැකගන්නවා. බිත්තරයෙන් එලියට පැමිණි විගස පාථිවියේ විද්‍යුත් චුම්බක තරංග තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නා මේ අපුරු සත්වයින් ලොව ගැඹුරුම සයුරු තීරයන්හි පිහිනා ගියත් නැවත බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාව නැමැති දූපතට නැවත පැමිණෙන්නේ එලෙස ග්‍රහණය කරගත් විද්‍යුත් චුම්බක තරංගයන් ඔස්සේයි.

කැස්බෑවොන්ගේ ජීවිතේ ස්වාභාවික සංසිද්ධිය එහෙමයි. නමුත් "සංරක්ෂණ මධ්‍යස්ථාන" බෝඩ් එකට මුවාවෙච්ච ජාවාරම්කාර ගුහා අයිතිකාරයෝ කරන්නේ මොකක්ද? එයාලා බිත්තරවලින් එලියට පැමිණෙන පැටවුන් කඩිනමින් මුහුදට මුදා හරිනු වෙනුවට දින කිහිපයක් සිමෙන්ති ටැංකියක කොටුකරගෙන තියාගෙන ඉන්නවා!!!

මේකෙන් කැස්බෑවොන්ට සිද්ධ වෙන හානිය කොයිවගේ ද?




හානි කීපයක් සිදුවෙනවා. අපි එකින් එක කතා කරමු.

1. අලුත උපන් පැටවාට ගැඹුරු දියඹ සොයා පිහිනීමට අවශ්‍ය ශක්තිය බිත්තරයෙන් ලබා දෙන්නෙ පැය 48 ක් වැනි කාල රාමුවකට. ඒ වෙනුවට සිමෙන්ති ටැංකියක ඔබ මොබ පීනමින් දවස් කීපයක් ගතකළ පැටවකුගේ ඒ ශක්තිය වැයවී හමාරයි. ඉතිං ඒ පැටියා ආයෙත් ගැඹුරු දියඹ සොයා පිහිනන්නේ කොහොමද? උචිතයා අනුචිතයා ඇතුළු සියල්ලෝම ජීවත් වීමට ඇති හැකියාව මේ නිසා අතිශයින්ම සීමිත වෙනවා.

2. සිමෙන්ති ටැංකියකට දමන්නේ එක එක විශේෂයන් වෙන වෙනම නෙමේ. හැම ජාතියකම ඉන්න පැටවු ඔක්කෝම එකට කොටුකරනවා. එවිට වර්ගයා නැසීම, භක්ෂනයට ගොදුරු වීම සුලභ යි. මේ ගැන තොරතුරු ලබාදුන් පරිසරවේදී මිත්‍රයෙක් කියපු විදියට මෙවැනි ටැංකි තුළ සිටින පැටවුන්ගෙ ගාත්‍රා වෙන එවුන් විසින් සපා කෑමට ලක්වී තිබීම සුලබ ලෙස දකින්නට තිබිලා. මේ හේතුවෙන් නැවත ජීවත්වීමට ඇති සම්භාවිතාව තවත් පහලට යන එක අහන්න දෙයක්ද?

3. සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් තියෙන ජාවාරම් ගුහා, මේ විදියට කුඩා පැටවුන් රඳවා ගන්නේ මුදල් අයකර සංචාරකයන්ට ඔවුන්ව මුදා හැරීමට ලබාදීම සඳහායි. ඒක සංචාරකයන්ට හරි විනෝදජනක අත්දැකීමක්. සමහර සංචාරකයන් මේ පැටවුන්ව අතාරින්න්නේ කෙළින්ම මුහුදටයි. නමුත් මීට කළින් කිව්ව පෘථිවි විද්‍යුත් චුම්බක තරංග ග්‍රහණය කරගැනීම සඳහා වෙරළ කඩයිම ඔවුනට වැදගත් වේ. ඒ සත්තුන්ට උතුර දකුණ මාරුකරලා මේ කරන්නේ සංරක්ෂණයක් ද?

4. පැටවුන් සාමාන්‍යයෙන් මුදා හැරිය යුත්තේ රාත්‍රි කාලයේදීයි. ඒත් මේ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් තියෙන ජාවාරම් ගුහාකාරයෝ සංචාරක ආකර්ශනය සඳහා මේ වැඩේ කරන්නේ දිවා කාලයේදී යි. මේ නිසා පැටවුන්ට ජීවත් වීමට ඇති හැකියාව තවත් අවමයි. මේකද සංරක්ෂණේ?

මේ ගැන අපේ රටේ තියෙන නීතිය කොයිවගේද?

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව 1972 වර්ශයේ සිට මුහුදු කැස්බෑවන් සඳහා ආරක්ෂාව ලබා දී තියෙනවා. ඒ අනුව දැන් පවතින සහ ක්‍රියාත්මක වෙන වනජීවි ආඥා පනතේ දැඩි ලෙස ආරක්ෂිත උරගයින් ලෙස දෙවන උප ලේඛනයට, අපේ රටට බිත්තර දාන්න එන කැස්බෑ විශේෂ පහම ඇතුලත් කර තියෙනවා. ඒ පණතේ 30(1) වගන්තිය අනුව මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ලඟ තබා ගැනීම, කොටස් ලඟ තබා ගැනීම ආදිය සපුරා තහනම්. 30(2) වගන්තිය අනුව අදාල වරදකරුවන්ට ලැබිය යුතු දඬුවම් පැහැදිලිව දක්වා තියෙනවා. එතකොට මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හොර ගුහාවල් නීත්‍යානුකූලද? උත්තරේ ඔබ දන්නවා!

මීට අමතරව අතිශයින්ම නීති විරෝධි විදියට වැඩුණු කැස්බෑවුන් රඳවා තබා ගැනීමත් මේ ජාවාරම්කාර හොරුන් සිදු කරනවා. ඒ විදියට රඳවා තබාගන්නා කැස්බෑවුන් අඩි 6×5, 4×4 ප්‍රමාණයේ සිමෙන්ති ටැංකි තුළයි ජීවත් වෙන්නේ. දවසට කිලෝමීටර් විශාල ගණනක් නිදහසේ පිහිනා යෑම උරුමය සහ අවශ්‍යතාවය කරගත් මේ සත්වයින් මෙලෙස නීති විරෝධීව තබාගන්නට ඉඩ ලබා දෙන්නේ කවුද?


අඩි 5X5 ටැංකියක සිරකර සිටින සුදු කැස්බෑවා


තවද එක් ජාවාරම්කාර හොර ගුහාවක (කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක) සම්පූර්ණයෙන් වැඩුණු සුදු කැස්බෑවකු රඳවා තබාගෙන සිටිනවා. කිසිම අබාධයක් නැති මේ සත්වයා මෙලෙස රඳවාගෙන ඇත්තේ ඇයි කියලා ඇහුවම ලැබුණ පිළිතුර උනේ, ඒ සතාව මුදා හැරියොත් මෝරුන්ට බිලිවෙනවා කියන එකයි. මීටර් 1.2 පමණ වන මේ කැස්බෑවා රඳවා ඇත්තේ උගේ පිටකටුවවත් නොවැසෙන තරම් ජලය ඇති අඩි 5×5 පමණ ප්‍රමාණයේ සිමෙන්ති ටැංකියකයි. ඇල්බිනෝවෙකුට ස්වභාවධර්මය‍ෙන් ඇති උරුමය ඌට ස්වභාවධර්මයත් එක්ක විසඳා ගන්නට ඉඩ නොදී මේ කරන විකාර වැඩේ මොකක්ද? සාමාන්‍යයෙන් වසර 300 පමණ ආයු ඇති මේ සත්වයන්, ඌට හැරෙන්නවත් ඉඩ නැති ටැංකියක හිරකරගෙන ඉන්න ඇති අයිතිය මොකක්ද? ජාවාරම්කාර හොර ගුහාවක අයිතිකාරයෙක්ට ඇල්බිනෝ කැස්බෑවකු තබා ගැනීමට ඇති නීති ප්‍රතිපාදන මොනවාද?


අඩි 5X5 ටැංකියක සිරකර සිටින සුදු කැස්බෑවා


මිනිසුන් විදියට අපි සිදු කරන්න ඕනේ, මේ අකටයුත්තට විරුද්ධව කටයුතු කරන එක නොවෙයිද? මේ ජාවාරම්කාර හොර ගුහාවල් වසාදමන ලෙසට සහ ඒ ජාවාරම්කාරයන් නීතිය ඉඳිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට බලකරන එක නොවෙයිද? අපි මේ ගැන කතා කරන්නේ නැතිනම්, සංරක්ෂණයේ බෝඩ් ලෑල්ලට මුවාවෙලා මේ කරන මහ විනාශය ගැන කතාකරන්නේ කවුරුන් ද? හිතවතුනි, මේ අපරාධයට විරුද්ධව අපි පෙළගැසිය යුතු නොවෙයිද?

මේ සියළු විස්තර සහ ඡායාරූප ලබාදුන් Don Supzට අපේ ගෞරවණීය ස්තූතිය හිමිවෙනවා. මේ සියළු කරුණුවලින් අපිව දැනුවත් කළේ ඔහු යි. ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් නම්, මේ ගැන තවත් එක්කෙනෙක්ව හෝ දැනුවත් කරන එක යුතුකමක් විදියට ඔබ දකීවි කියලා අපි විශ්වාස කරනවා.

Thursday, February 23, 2017

නුඹලා ඔය ගාණට විකිණෙන්නට ඕන මිනිස්සු නෙමේ ය!!!



අපේ රටේ තියෙන ටීවී චැනල් බලනවාට, FM රේඩියෝ අහනවාට ඒ ටීවී/FM චැනල්වලින් සල්ලි, ගෘහ භාණ්ඩ, වාහන වගේ දේවල් දෙන්න පටන් ගෙන දැං ගොඩාක් කල් ය. ඒ ඒ මාධ්‍ය නාලිකා අයිති මුදලාලිලා තම තමන්ට හැකි විදියට තමන්ව අහන බලන ඈයොන්ට ඒ සල්ලි සහ අනිත් දේවල් නිර්ලෝභීව බෙදා දෙන්නේ ය. ඒ බෙදා දෙන එක තමන්ගේ මාධ්‍ය නාලිකාවේ දවස ගානේ ප්‍රචාරය ද කරන්නේ, ඒ ඇඩ් එක දකින තවත් හුදී ජනයාට තමන්ගේ චැනල් එකම බලන්න ආස හිතවන්න ය. ඒ රේඩියෝ අහන ටීවී බලන අපේ මිනිස්සු තමන්ගේ ගෙදර, කඩේ ඉස්සරහ "මම අහන්නේ # FM" කියා අඟුරු කැටවලින් ලිව්ව බෝඩ් එල්ලුවේ, ත්‍රීවීල් එකේ/වෑන් එකේ/බස් එකේ # FM එකේ ස්ටිකර් අලව ගත්තේ අවංකවම ඒ චැනල් එක ඇහුවත් නෑහුවත් අහකයන වාසනාවක් හෝ පෑදී තමන්ට යම් වාසියක් වේ යැයි කියන අහිංසක බලාපොරොත්තුවෙන්ම ය.

රටේ ජනප්‍රියමැයි කියාගන්නා රූපවාහිනී නාලිකාවක ද රෑ 9.30 ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ඔය ආකාරයේ "චැනල් එකේ නම කිව්වත් සල්ලි බෙදන" වැඩ සටහනක් ප්‍රචාරය වෙන්නේ ය. මේ රටේ කොහේ හෝ පට්ට ඈත ඩොටේ දිස්ත්‍රික්කයක හංදියක, කඩපිළක, බස් නැවතුමක ඉන්න පිරිසක් අරගෙන (කළින් දැනුම් දී හෝ නැතුව හෝ) අහන රේඩියෝ චැනල් එක තමන්ගේ චැනල් එක නම් ඒ අහන උදවියට මුදල් තෑග්ගක් දීම මේ වැඩසටහනේ පෙළගැස්ම ය. වැඩසටහන දෙස උවමනාවෙන් බැලුවොතින් පැහැදිලිව පේන්නේ, ඒ ඉන්න අයගෙන් 90%ක්ම අවුරුදු 20-35 අතර වයස් කාණ්ඩයේ තරුණයන්/තරුණියන් බවය. අන්තිමේ චැනල් එක බලන නිසා සල්ලි දිනාගත්ත සම්පූර්ණ කණ්ඩායමම සමූහ ඡායාරූපයකට පෙනී සිට "අපි අහන්නේ # FM, # ඇහුවොත්/බැලුවොත් සල්ලි තමයි" කියමින් තමන්ට ලැබිච්ච සල්ලි ටික පෙන්නනවා ය. කොටින්ම කියනවානම්, ඒ මිනිස්සු ටික අදාළ චැනල් එකට දැනුවත්ව හෝ නොදැනුවත්ව විකිණෙනවා ය.

තමන්ගේ ක්ෂේත්‍රයෙන් කීර්ති නාමයක් සාදාහන්නා මිනිස්සු, තම තමන්ට හැකි විදියට ඒ කීර්ති නාමය විකුණන්නෝ ය. ක්‍රිකට්වලින් මේ රට ඉහළටම ඔසවා තැබූ අරවින්ද ගේ සිට ජයසූරිය හරහා සංගක්කාර දක්වාම එහෙම විකිණුනේ ය. මිනිස්සු විකිණෙන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැත්තේ ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම විකිණෙන මිනිස්සු ය. ටීවී/රේඩියෝ මුදලාලිලා බලෙන් අපිව විකුණන්නේත් නැති ය. මට තියෙන එකම ප්‍රශ්නේ, ඔය ටීවී/රේඩියෝ චැනල්වලට "සාමාන්‍ය මිනිස්සු" විකිණෙන මුදල පිළිබඳව ය. "බොහෝ දිනවලදී" වැඩසටහනින් දිනන මිනිහෙක්ට ලැබෙන්නේ රුපියල් 5000ටත් වඩා අඩු මුදලක්ය. සමහර දිනවලදී රුපියල් 1000/2000 වගේ හිඟන මුදලකට ඔවුන් විකිණෙන්නේ ය. අපේ එකාලාටත් අතට දහක් දෙදහක් ලැබී ටීවී එකේ මූණ පෙන්නනවානං ඒක ලොවෙත් ඇති ය. මාධ්‍ය නාලිකාවේ මුදලාලි මේ තක්කඩි විදියට සූරාකන්නේ, අපේ මිනිසුන්ගේ ඒ නොදන්නාකම ය. මේ අකුරු ටික ලිව්වේ අන්න ඒ නොදන්නාකම වෙනුවෙන්ම ය.

මිත්‍රවරුණි, නුඹලා හිඟන මුදලකට විකිණෙන්නට ඕන පුද්ගලයෝ නෙමේ ය. නුඹලා ඊට වඩා බොහෝ වටිනා පුද්ගලයෝ ය!!!

(සියළු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා ය. ඒවාගේ අයිතිය මුල් අයිතිකරුවන් සතු ය. පුද්ගල හඳුනාගැනීම් වැළැක්වීම සඳහා යම් යම් සංස්කරණයන් කර ඇත්තේ ය)

Wednesday, February 22, 2017

අපේ අකුරුවලට වටිනාකමක් ලැබී ඇත්තේ ය!!!




අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට අයදුම් කිරීමේදී තාක්ෂණික දුර්වලතාවයක් නිසා විශ්ව විද්‍යාල වරම අහිමි වූ මොණරාගල, පස්සර, කොටමුදුන ගමේ සෞම්‍යා උදේශිකා සිසුවියගේ කතාව ඔබ බොහෝ දෙනෙක් දන්නේ ය. ඒ පුවත මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ සැනින් ඒ ගැන සමාජ මාධ්‍ය අවධානය යොමුවී ඇයට සාධාරණයක් ඉටුවිය යුතු බවට විශාල හඬක් පසුගිය සතියක දෙකක කාලයේදී නැගුනේ ය. ඒ හඬේ ප්‍රභලත්වය බලධාරීන්ටද ඇසී ඇත්තේ ය. ඇයට සාධාරණයක් ඉටුවී ඇත්තේ ය. සෞම්‍යා උදේශිකාට සුබ පතන ගමන්ම, නිසි විසඳුමක් ලබාදීමට මැදිහත් වූ සියළුම බලධාරීන්ට අපගේ ස්තූතියද හිමිවන්නේ ය.

තමන්ට ලැබුණ සරසවි වරමින් නිසි ප්‍රයෝජන ගෙන තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ, තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව කතා කළ මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් යමක් කිරීම සෞම්‍යා උදේශිකාගේ යුතුකමක් සහ වගකීමක් ය. ඒ යුතුකම සහ වගකීම ඇය කොයි ආකාරයට ඉටුකරාවිද යන දේ බලා ගත හැකිවන්නේ කාලයට ඉඩදීමෙන් පමණක්ම ය.

සෞම්‍යා උදේශිකා හෙට දිනයේ විද්‍යාර්ථියක වශයෙන් කැළණිය විශ්ව විද්‍යාලයට යනු ඇත්තේය.

මිත්‍රවරුණි, අපේ අකුරුවලට වටිනාකමක් ලැබී ඇත්තේ ය!!!

Tuesday, February 21, 2017

කොහේ සිට ඔබ පැමිණියේදෝ...



දෙනෝදාහක් අවට සිටියද,
තනිවෙලා වේදනා වින්දෙමි මම්...
නුවන් දාහක් අවට දුටුවද,
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්...

කොහේ සිට ඔබ පැමිණියේදෝ.....
සිහිනයේ රැඳුණු ඒ අප්සරා,
මගේ ඉරබටු තාරකා,
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්,
ප්‍රේම ගීයයි මේ...
කොහේ සිට ඔබ පැමිණියේදෝ...

Thursday, February 16, 2017

මේ වංචාව ගැන ඔබත් දැනුවත් ද?



පහුගිය දවසක මගේ බොහොම ළඟ මිත්‍රයෙක්ට තැපෑලෙන් ලැබෙනවා ලිපියක්. ලිපි ශීර්ෂයේ සඳහන් වෙන්නේ General Motors (Pvt) Ltd, ගාළු පාර, වැල්ලවත්ත ලෙසට. ඒ ලිපියේ සඳහන් වෙන ආකාරයට මගේ මිත්‍රයා රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කරපු මෝටර්ක්‍රොස් තරඟෙකට සමගාමීව දිනුම් ඇදපු ලොතරැයියකින් ත්‍රී රෝද රථයක් ජයග්‍රහණය කරලා තියෙනවා. අදාළ ලියාපදිංචි ගාස්තු සහ රක්ෂණ ගාස්තු ගෙවලා වාහනය රැගෙන යන ලෙස තමයි ලිපියේ කරුණු සටහන් වෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා අමතන්න දුරකථන අංක 4ක්ද සඳහන් වෙනවා.

මගේ මිත්‍රයා මේ ගැන විමසන්න ඒ අංකයකට කෝල් එකක් ගන්නවා. ආන්සර් කරන්නේ කාන්තාවක්. ඇය රණවිරු සේවා අධිකාරියේ ජෙනරල් ලයින් එකට කතා කරාම අපිට අහන්න ලැබෙන පොදු වචන මාළාවම භාවිතා කරමින් කතා කරනවා. මේ සිද්ධිය ගැන ඇයගෙන් ඇහුවම දෙන උත්තරේ වෙලා තියෙන්නේ "ඒ අදාළ නිලධාරී මහතා සීට් එකේ නැහැ. එයා ආවම දැනුම් දෙන්නම්" කියන එක. මගේ මිත්‍රයාත් එකඟවෙලා කෝල් එක කට් කරලා ඉන්නවා.

මගේ මිත්‍රයාට එදාම හවස 2ට විතර ඇමතුමක් එනවා මේ සිදුවීමටම සම්බන්ධව. කතා කරන්නේ බ්‍රිගේඩියර් වීරක්කොඩි නමින් හඳුන්වාදෙන පුද්ගලයෙක්. ඔහු මගේ මිත්‍රයාට තදින් කතාකරන්නේ මෙතරම් දවසක් මේ ත්‍යාගය ලබාගන්න නොපැමිණියේ ඇයි කියන කරුණට. කරුණාකර ඒ ත්‍යාගය ලබාගන්න, නැතිනම් ඊලඟ කෙනාට ඒ ත්‍යාගය ලබා දෙන බව ඔහු පවසා සිටිනවා. 2017-02-13 දා (ගිය සඳුදා) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ තෑගි ලබාදීම සිදුකරන බවටත්, ඊට පෙර ලියාපදිංචිය සිදුකරගත යුතු බවටත් ඔහු පවසනවා. ලියාපදිංචිය සහ රක්ෂණ ගාස්තුව ලෙස රුපියල් 41,000.00ක මුදලක් බැංකු ගතකරන ලෙස ඒ පුද්ගලයා මගේ මිත්‍රයාට දැනුම් දෙනවා. ඒ සඳහා බැංකු ගිණුම් අංකයක්ද ඒ පුද්ගලයා ලබා දෙනවා.

මේ ගැන ඇතිවෙන සැකය නිසාම මගේ මිත්‍රයා, මම සහ තවත් අපේ හිතවතෙක් විදියට තුන් දෙනෙක් රණවිරු සේවා අධිකාරියට දුරකථන ඇමතුම් ලබා දී මේ ගැන විමසනවා. අපි තුන්දෙනාටම ලැබෙන්නේ එකම පිළිතුර. එහෙම ත්‍යාග ලබාදීමක් හෝ මෝටර්ක්‍රොස් තරඟාවලියක් හෝ ලොතරැයියක් ගැන රණවිරු සේවා අධිකාරිය දන්නේවත් නැහැ.

කාරණාව පැහැදිලියි. මේ බොහෝම සැළසුම් සහගත විදියට ක්‍රියාත්මක වෙන අලුත්ම මගඩියක්!!! රටේ ජනාධිපතිගේ, ත්‍රිවිධ හමුදාවේ, රණවිරු සේවා අධිකාරියේ නම විකුණලා ක්‍රියාත්මක වෙන මහා වංචාවක්. මේ වංචාව ගැන රණවිරු සේවා අධිකාරියත් දැනුවත් බවයි එහෙන් කරපු විමසීමේදී කිව්වේ. ඒ වගේම මේ ගැන පැමිණිල්ලක් CID එකට කරපු බවත් රණවිරු සේවා අධිකාරිය පාර්ෂවයෙන් දැනුම් දුන්නා.

මේ සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ගැන හරි අදහසක් නැහැ. ඒවා නියමිත පරිදි සිදුවෙනවානම් හොඳයි. නමුත් වැදගත්ම දේ, මේ වගේ මගඩි සිදුවෙන බව රටේ ජනතාව දැනගත යුතුමයි. සමහර විට ඔබ දන්න කියන කෙනෙකුටත් නුදුරු අනාගතයේදී මේ වගේ ලිපියක් ලැබෙන්නට ඉතා විශාල ඉඩක් තියෙන්නට පුළුවනි. මේ වගේ දහදුරා වැඩවලින් එක්කෙනෙක්ව හරි බේරගන්න ඉඩක් තියෙනවානං, ඒ ඉඩ වෙනුවෙන් තමයි මේ සටහන...

මේ සිද්ධිය ගැන තවත් බොහෝ තොරතුරු තියෙනවා. මීට වඩා පුළුල් මහජන දැනුවත් කිරීමක් සඳහා හෝ අදාළ නීතිමය කටයුතු සඳහා කවුරු හරි කෙනෙක්ට ඒවා අවශ්‍යනම් ලබාදෙන්න පුළුවන්.

Tuesday, February 14, 2017

මව්බිමට ඇහුණ අපේ හඬ!!!



අද Mawbima පත්තරේ "යං" අතිරේකේටත් පස්සර කොටමුදුනේ සෞම්‍යා උදේශිකා වෙනුවෙන් අපි ලිව්ව අකුරු කීපය ඇහිලා. සතුටුයි...


Ranjith Kumara Samarakoon - බොහොම ස්තූතියි මිත්‍රයා මේ වචන සමාජ ගතකරනවට!!!

Sunday, February 12, 2017

විප්ලවය ඇරඹිය යුත්තේ මේවා වෙනස් කිරීමටය!!!



මොණරාගල දිස්ත්‍රික්කයේ පස්සර, කොටමුදුන ගමේ උපන් සෞම්‍යා උදේශිකා දැරියගේ උසස් පෙළ ප්‍රතිඵල සහ ඉන් අනතුරුව සිදුවු දේ දැන් රටම දන්න පුවතක් වී හමාරය. අවුරුදු 5කට පසු ඒ ගමෙන් ඒ පාසලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ එකම සිසුවියට, අද විශ්ව විද්‍යාල ප්‍රවේශය නැතිව තිබෙන්නේ තාක්ෂණික කාරණාවක් නිසාය. 

ජපානයේ හොක්කයිඩෝ හි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වූ කානා හරාඩාගේ අධ්‍යාපනය අවසන් කරන තෙක් ඇයගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් "පමණක්" දිනකට මිනිත්තු 35ක දුරක් ධාවනය කරවූ දුම්රියක් ගැන විස්තරයක් මේ දිනවල සිංහල ෆේස්බුක් අවකාශය පුරා ප්‍රචාරය වෙන්නේ ය. ඒ ජපානයේ හැටිය. ජපානයේ බලධාරීන් අධ්‍යාපනය ලබනා ශිෂ්‍ය ප්‍රජාව දෙස බලනා හැටිය. 

තාක්ෂණික නොහැකියාව නිසා තමන්ට සිදුවූ අසාධාරණය ගැන පැමිණිලි කරන්නට UGCයට ගිය ආර්. එම්. සෞම්‍යා උදේශිකා ශිෂ්‍යාවට බලධාරීන් දෙන පිළිතුර වූයේ "ඔයා ආයේ පාරක් ඒලෙවල් කරලා පාස්වෙලා එන්න" කියලා ය. ඒ මේ රටේ බලධාරීන් අධ්‍යාපනය ලබනා ශිෂ්‍ය ප්‍රජාව දෙස බලනා හැටිය. පස්සර කොටමුදුනට හෝ ඒ අහල ගම් හතකටවත් ඉන්ටර්නෙට් තියෙනවාද, ඉන්ටර්නෙට් තිබ්බත් රෙජිස්ටර් වෙන්න අවශ්‍ය පියවර ටික පහුකරන්න තරම් තාක්ෂණික දැනීම ඒ ඈයොන්ට තියෙනවාද යන සමාජීය ගැටළු මේ රටේ බලධාරීන්ට අදාළම නැත්තේ ය. රෙජිස්ටර් නැත්තං ආයේ ඒ ලෙවල් කරලා එන්න ඕනේ ය. මෙහේ හැටි එහෙම ය.

ලෝක උරුමයක් ගැන "නොදන්නාකම නිසා" සීගිරි කැටපත් පවුරේ හැට්ට කට්ටකින් නම කුරුටු ගෑ මඩකළපුවේ දෙමළ තරුණියට, ඒ වරද හේතුවෙන් උසාවියෙන් ලබා දුන් දඬුවමට සමාව ලබා දී ඇයගේ නොදන්නාකමට සාධාරණයක් #යහපාලන ජනාධිපතිතුමා ඉටු කළේ ගිය අවුරුද්දේ ය.
"තාක්ෂණයේ නොදන්නාකම" නිසා උසස් අධ්‍යාපනයේ අයිතිය අහිමිවීමේ අවධානමේ සිටින පස්සර, කොටමුදුනේ ආර්. එම්. සෞම්‍යා උදේශිකා වෙතද #යහපාලන ජනාධිපතිතුමාගේ කරුණාබර අවධානය යොමුවේදැයි අප බලා සිටින්නේ ය. ඒ වගේම ඇයට "ආයේ ඒලෙවල් කරලා පාස් වෙලා එන්න"යි කියූ UGCයේ මුග්ධයන් වෙත එතුමා ප්‍රතිචාර දක්වන්නේ කෙළෙසදැයි කියා ද අප විමසිල්ලෙන් බලා සිටින්නේ ය.

ආර්. එම්. සෞම්‍යා උදේශිකාට සාධාරණය ඉටුවෙන්නේ නැතිනම්, මිත්‍රවරුණි - අපි විප්ලවය ඇරඹිය යුතුවන්නේ මේවා වෙනස් කිරීම වෙනුවෙන්ය!!!

Monday, February 6, 2017

SAITM සටනට එකතුවෙන්න මහින්දට බැරිද?

SAITM - Malabe

සයිටම් එකට UGC අනුමැතිය දුන්නේ මහින්දගේ ආණ්ඩු කාලේ, සයිටම් එකට මහින්ද රුපියල් මිලියන 600ක බැංකු ණයක් දුන්නා, සයිටම් එක මහින්දගේ වැරැද්දක් කිය කිය ෆේස්බුක් එකේ වෝල්, ගෲප්, චැට් පුරා යුනිකෝඩ් වපුරන උගත් බුජ්ජිමත් ප්‍රජාව දවස් කීපයක් තිස්සේම දැක්කා. මේ සත දෙක ඒ ෆේස්බුක් බුජ්ජිමතුන් වෙනුවෙන්.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් මහින්ද උදව් කෙරුවේ සයිටම් එකට විතරද? මගේ හිතවත් Wishwa Chinthana කියලා තිබ්බ විදියට SLIIT, CINEC, MIT, NIBM, NSBM, Horrizen වගේ පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් දියුණු කරන්න අවශ්‍ය ශක්තිය මහින්දගේ ආණ්ඩුව කාලෙදි සැපයුවා. මේකෙන් SLIIT, CINEC, MIT, Horrizen හතරම පැත්තකට දාමු. මම කතා කරන්නම් NIBM, NSBM ආයතන දෙක ගැන.

NIBM ආයතනය වැඩි දියුණු කරන්න සහ NSBM පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න අවශ්‍ය මූලික පරිසරය නිර්මාණය කර දුන්නේ මහින්ද තමයි. මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා 2005/06 අවුරුදු වලදි NIBM එකේ ඉගෙන ගත්ත සමකාලීනයන් 500කට වැඩිය. ඔවුන්ට මතක ඇති 2005 දී NIBM එකට එද්දි ඒක තිබ්බ භෞතික තත්ත්වය සහ ඊට අවුරුදු 4කට පස්සේ ඒකෙන් අපි ඉවත් වෙද්දි තිබ්බ තත්ත්වය. හෝමාගම හදලා ගිය අවුරුද්දේදි විවෘත කරපු NSBM Green University එක සිරිසේන බොසා සහ ඇමති මහින්ද සමරසිංහ ගිහිං එයාලගේ වගේ ඕපන් කළාට මොකෝ ඕක හදන්න අවශ්‍ය කරන සියළු මූලික දේවල් ටික ලබා දුන්නේ මහින්ද සහ ඒ කාලේ වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි පියසේන ගමගේ දෙන්නා. මහින්ද තමන්ගේ ආණ්ඩු කාලේදී සයිටම් එකටත් එහෙම්මම තමයි උදව් කළේ.


NIBM - Colombo

NIBM, NSBM දෙක රජයේ අදාළ වෘත්තීය ආයතනවල නිර්ණායකයන්ට අනුකූලව තමන්ගේ පාඨමාලාවන් කරගෙන ගියාට සයිටම් එකේ නෙවිල් මුදලාලි ඒ වැඩේ කළේ නැහැ. ඒ වෙනුවට බුවා කෙරුවේ ජිල්මාට් හරහා මහින්දගේ කාලේදී එස්.බී දිසානායක, සිරිසේනගේ කාලෙදි රාජිත සේනාරත්න වගේ තක්කඩි අල්ලගෙන තමන්ගේ කඩේ නීත්‍යානුකූල කරගන්න උත්සාහ කරන එක. මෙතනදී මහින්දව අල්ලගෙන ගහන එක ෆේස්බුක් බුජ්ජිමතුන් විසින් තමන්ගේ හාම්පුතාලගේ තුප්පහි දේශපාලනික අරමුණු සහ ඕනෑකම් වෙනුවෙන් කරන වැඩක්. මහින්ද ඉඳිරිපත් කරපු මහින්ද වින්තන ප්‍රතිපත්තිවලම තිබ්බා "Educational Hub" එකක් විදියට මේ රට දියුණු කරන්න. NIBM, NSBM වගේම සයිටම් එකත් ඒ වැඩේ කොටසක්. ඒකේ එකක ලොක්කා වෙච්ච නෙවිල් මුදලාලි තුප්පහි වැඩ කළාම ඒක මහින්දගේ වැරැද්දක් වෙන්නේ කොහොමද?


NSBM Green University - Homagama

ඒ නිසා සයිටම් කේස් එක හරි පාරට ගන්න වැඩේට මහින්දට එක්කහු වෙන්න පැහැදිලිවම අයිතියක් තියෙනවා! මොකද ඒක හදන්න උදව් කළේ මහින්ද. ඒවට අවශ්‍ය රාජ්‍ය අනුමැතිය අරගෙන දුන්නේ මහින්ද. මහින්දගේ උදව්වෙන් පටන් ගත්ත වැඩේ, මොකෙක් හරි තුප්පහියෙක් අල කරලා දැම්මම, ඒක පටන් ගත්ත එකා විදියට මහින්ද ආයේ ඒක ගොඩ දාන්න එන එකේ වැරැද්ද මොකක්ද?

මේ කිසි දෙයක් නොදැන හෝ බලෙන් අමතක කරලා දාලා, මහින්ද රාජපක්ෂ සයිටම් විරෝධී සටනට එකතු වෙච්ච එකට ෆේස්බුක් එකේ යුනිකෝඩ් වපුරන උගත් බුජ්ජිමත් ප්‍රජාව වෙනුවෙන්, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්!!!

එච්චරයි...

Saturday, February 4, 2017

නිදහස...



නිදහස කියන්නේ මහ අමුතුම සංකල්පයක්!!!
මනුස්සයෙක්ට නිදහස තියනකම්,
ඒකේ අගය, වටිනාකම වැටහෙන්නේ නැහැ...
නිදහස බිංදුවකින් හරි අඩුඋනාම තමා දැනෙන්නේ,
නිදහසේ අගය...
හැම කාලෙම ජීවත් වෙච්ච මිනිස්සු,
නිදහසේ හිතපු නිසයි,
නව අදහස්, නව සොයා ගැනීම් බිහිවුණේ...
නිදහස කියන සංකල්පය යථාර්ථයක් වෙච්ච නිසයි,
ලෝකේ අද මෙච්චර දියුණු වෙලා තියෙන්නේ...

අද,
පෙබරවාරි 04 වෙනිදා,
ශ්‍රී ලංකාවේ අපි,
69වෙනි නිදහස් දිනය සමරනවා...
ලැබූ නිදහස, දිනූ නිදහස,
අර්ථවත් නිදහසක් කරගෙන,
ඉඳිරියටම යන්න,
ඔබ සැමට,
ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව ලැබේවා!!!
නිදහසට ජයවේවා!!!


(ඡායාරූපය - 2012 ජූලි 31 - ගාළු මුවදොර)