Tuesday, January 10, 2017

විමල්...



විමල්,
මට මතකයි, 2003/04 කාලේ, උඹ ඒ කාලේ ජෙප්පෙක්. හැබැයි මැයි පළවෙනිදා, බීආර්සී එකේද කොහෙද කරපු ජේවීපී රැළියට මමත් ආවා. ඒ ආවේ උඹේ කතාව අහන්න. මට මතකයි උඹේ කතාවට වශීවෙලා මම අහගෙන හිටිය හැටි. උඹේ කතාවලින් අහුලගත්ත කෑලි ඒ කාලේ මම දේශපාලනේ කතා කරපු තැන්වල කියපු හැටි.
මට මතකයි උඹ ජේවීපී එක ජනතාව අතරට ගෙනිච්ච හැටි. පොඩි පොඩි පොකට් මීටිංවලට උඹ ආව හැටි. සමහර තැන්වලදී උඹට හූ කියද්දිත් උඹ කතාව නවත්තන්නේ නැතුව දිගටම කරගෙන ගිය හැටි. මට මතකයි විමල්...
විමල්, මට මතකයි 2005 ජනාධිපතිවරණේ. එදා මහින්ද මහත්තයගේ වේදිකාවේ කතා කරන්න එකෙක් නැතුව ඉද්දි, උඹ හැම රැස්වීමකම, හැම ටීවී සංවාදෙකම, අනිත් පැත්තේ එකාලව වචනෙන් කීතු කීතු කරපු හැටි, මට මතකයි. 2005 ජනාධිපතිවරණේ අන්තිම රැස්වීම කැම්බල් එකේ තියෙද්දි, ඒකේ අන්තිමට විනාඩි 25ක් අරගෙන උඹ කරපු කතාව අද වගේ මතකයි.
විමල්, මට මතකයි 2007 නොවැම්බර් මාසේ. යුද්ධේ එක පැත්තක සැරට යද්දි, අයවැය දෙවෙනි වතාවේ කියවන එක පරාද කරන්න විපක්ෂේ එකාලා ගේම් ගහද්දි, උඹේ පක්ෂේ මතවාදේ අතෑරලා, තීරණාත්මක ගමනක් උඹ ආව හැටි මට මතකයි. උඹ ඒ ආව ගමන නිසා, රටේ ගමන වෙනස් වෙච්ච හැටි මතකයි. හොඳටම මතකයි විමල්...
2010 ජනාධිපතිවරණෙත් මට මතකයි. උඹේ කතාවලින් දැනගත්ත කරුණු, අපේ ගම්පළාතේ පොකට් මීටින්වලදී මම කිව්ව හැටි හොඳට මතකයි. එදාත් මහින්ද මහත්තයා ගොඩයන්න උඹේ වචනෙන් උඹ දුන්න ගේම හොඳටම මතකයි.
උඹ ඇමතිකම කරද්දි, 2012දි උඹේ අමාත්‍යංශේදීම උඹ මුණගැහිලා කතා කරපු එකත් මතකයි විමල්. උඹට කරන්න පුළුවන් සීමාව ඇතුළේ, උඹ අපේ ඉල්ලීම උඩින්ම ඉටුකරලා දුන්න හැටිත් අද වගේ මතකයි...
විමල්, මට 2015 පෙබරවාරියත් මතකයි. පරාදවෙලා එහේ මෙහේ වැටිලා නන්නත්තාරවෙලා හිටිය ලක්ෂ 58කට සාධාරණේ ඉෂ්ඨ කරවන්න, දාහක් කුණු කතා, ජරා කතා, බලුකතා අහගෙන උඹ කරපු වැඩේ මතකයි. මැරෙනකම් ඒවා අමතක වෙන්නෑ විමල්...
විමල්, අපි එමු වර්ථමානෙට. උඹ නිවැරදිද වැරදිද කියන්න මම දන්නෑ. ඒක උසාවියකින් තීරණේ වෙච්චදෙන්. හැබැයි, කෝටි ප්‍රකෝටි ගණන් මහ දවල් හොරකම් කරපු, ඒවා ඔප්පුවෙලාත් තියෙද්දි, ඒවට මූලික වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ලා සැපට එළියේ ඉද්දි, වාහන අවභාවිතා කළා කියලා උඹව රිමාන්ඩ් කරන්නේ ඇයි කියලා අපිට අලුතෙන් කියලා දෙන්න ඕනේ නෑ විමල්. හිරගෙවල් තියෙන්නෙත් මිනිස්සුංට යන්න. ගිහිං වරෙං. ඕකේ ඇති මහ බක්කක් නෑ. ඕකේ ඇතුළේ ඉන්නෙත් උඹ, මම වගේ මිනිස්සු.
2003දි උඹේ කතා ඇහුවා කියලා මම ජේවීපී කාරයෙක් උනේ නෑ විමල්. ඊට පස්සේ උඹේ කතා ඇහුවා කියලා මම ජනිපෙ බුවෙක් උනේත් නෑ. වෙන්නෙත් නෑ. හැබැයි මතක තියාගනිං, උඹ අමාරුවේ වැටිච්ච මේ වෙලාවේ වගේම, හැමදාමත් මම උඹ එක්ක ඉන්නවා. ඒ උඹ හැමදාම හරි තැන හිටිය නිසා. රටට හිතවත් තැන හිටිය නිසා.
එච්චරයි!!!