Friday, August 11, 2017

History Repeats Itself



මේ ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්නේ පැබ්ලෝ එස්කෝබාර් ( Pablo Escobar 1949 - 1993). 85-90 වගේ කාල ප්‍රාන්තරයේදී ලෝකයේ 7වෙනියට ඉහළම ධනවතා විදියට Forbes සඟරාවෙන් නම්කරලා තිබුනේ එස්කොබාර් ව. එස්කොබාර්ගේ බිස්නස් එක තමයි කොකේන්. ඒ කාලෙදි ලෝකෙට සපයපු කොකේන්වලින් 80%ක්ම එස්කොබාර්ගේ කොකේන් කියලයි කියන්නේ. එස්කොබාර් ජීවත් වුනේ කොළොම්බියාවේ. එයාගේ කොකේන් අධිරාජ්‍යය සහ ඒකේ ක්‍රියාකාරකම් නිසා කොළොම්බියානු රජය දැඩි අපහසුතාවයකට පත්වෙලයි හිටියේ. මේ හේතුව නිසාම එස්කොබාර්ව දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න පටං ගත්තා. මේ දඩයමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයත් කොළොම්බියානු රජයට ලැබුණා. එස්කොබාර් ට මේ දඩයම කරදරකාරීයි. එයා ආණ්ඩුව එක්ක එකඟතාවයකට ඒ කියන්නේ ඩීල් එකකට ආවා. ඒ තමයි එස්කොබාර් ගේ කොන්දේසි කීපයකට රජය එකඟවෙනවානම් එස්කොබාර් සිරගත වීම. ඒ වෙනකොට එස්කොබාර් නිසා තමන් පත්වෙලා හිටිය දේශපාලනික සහ සමාජීය අපහසුතාවයෙන් ගැලවෙන්න ඕනේ නිසාම කොළොම්බියානු ජනාධිපති සීසර් ගැවීරියා මේ කොන්දේසිවලට එකඟ උනා. ඒ කොන්දේසි වලින් ප්‍රධානම එකක් තමයි එස්කොබාර් සිරගත වෙන බන්ධනාගාරය. ඒක එස්කොබාර් කැමති තැනක ඔහුට අවශ්‍ය විදියට නිර්මාණය ඕනේ. බන්ධනාගාරයේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් ඔහු විසින් තෝරන අය පමණක් වෙන්න ඕනේ. ඒ වගේම රජයේ හමුදාව හෝ පොලීසිය සිරගෙදර සීමාවේ ඉඳලා සැතපුම් 2ක් (සමහර තැන්වල මේක සැතපුම් 12ක් කියලත් තියෙනවා) ඈතින් තමයි ඉන්න ඕනේ. ඊට මෙහා එන්න තහනම්. මේ බන්ධනාගාරය ෆුට්බෝල් ක්‍රීඩාකරන තැනක්, බාර් එකක්, අති සුඛෝපභෝගී නානකාමර, දිය ඇළි වගේ දේවල් වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම එස්කොබාර් ඒ බන්ධනාගාරයේ ඉඳලා තමන්ගේ කොකේන් ජාවාරම පෙර පරිදිම සිදුකරගෙන ගිහිල්ලත් තියෙනවා. එස්කොබාර් විසින් තමන් වෙනුවෙන්ම හැදුව බන්ධනාගාරේ නම La Catedral. පොඩි ගූගල් සර්ච් එකකින් ඕක ගැන විස්තර ඕනේ තරම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවනි.

දැං එමු ෆොටෝ එකේ දකුණු පැත්තට. ඒකේ ඉන්නේ The Banker සඟරාවට අනුව ආසියානු පැසිෆික් කලාපයේ "හිටපු" හොඳම මුදල් ඇමති, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා. ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවෙච්ච ලොකුම මූල්‍ය වංචාව වුන මහබැංකු බැඳුම්කර වංචාවේදී, ඒ වංචාවට හවුල්කාර පාර්ෂවයකින් රුපියල් මිලියන 165ක් හෝ ඊට ආසන්න වටිනාකමක් තියෙන අති සුඛෝපභෝගී මහල් නිවාසයක් අල්ලස් වශයෙන් ලබාගත්තා කියලා එතුමන්ට පැහැදිලි සාක්ෂි සහිතව චෝදනා එල්ල වෙන්නේ බැඳුම්කර වංචාව ගැන විමර්ෂණය කරන ජනාධිපති කොමිසමේදීයි. මේ හේතුව නිසාම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් එතුමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගරු කථානායකතුමන්ට භාරදෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන්න කළින් එතුමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරලා සිංහ සෙය්යාවෙන් තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට අසුන් ගන්නවා. හරියටම මම මුලින් සඳහන් කරපු පැබ්ලෝ එස්කොබාර් බන්ධනාගාර ගතවුනා වගේම. 

නමුත් ගරු රවී කරුණානායක ඇමතිතුමාගේ ඉල්ලා අස්වීම සිදුකරන්නට කළින් එතුමන් සමඟින් රජයේ ඉහළම නායකයන් සිදුකරපු සාකච්ඡා ගොසිප් විදියට සමාජ අවකාශයේ පැතිරෙනවා. එහිදී ඉල්ලා අස්වෙනවානම් තමන් වෙනුවෙන් සිදුවිය යුතු දේ සහ ලැබිය යුතු දේ පිළිබඳව එතුමන් විසින් සඳහන් කරපු කොන්දේසි කීපයක් ගැන ඒ ගොසිප්වල සඳහන්. සමහරවිට පැබ්ලෝ එස්කොබාර්ගේ යෝජනාත් ඒ කාලේ ගොසිප් විදියට සමාජේ සංසරණය වෙන්න ඇති. එස්කොබාර්ගේ බන්ධනාගාර කොන්දේසි සමාජගත වුනා වගේ ගරු ඇමතිතුමන් තමන්ගේ ඉල්ලා අස්වීම වෙනුවෙන් යම් කොන්දේසි ඉඳිරිපත් කෙරුවානම් ඒවත් තව කාලයක් යද්දි සමාජගත වේවි.

හරියටම මීට අවුරුදු 25කට කළින් 1992දී සිදුවෙච්ච කොළොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පැබ්ලෝ එස්කොබාර්ගේ බන්ධනාගාර ගතවීම සහ ඊයේ දවසේදී සිදුවෙච්ච ගරු විදේශ අමාත්‍ය රවී කරුණානායක ඇමතිතුමන්ගේ ඉල්ලා අස්වීම යන සිද්ධි දෙක සැළකුවම, History Repeats Itself කියමනට මේක ඉතා හොඳ උදාහරණයක් ද කියලත් වෙලාවකට හිතෙනවා.

Thursday, August 10, 2017

රවී ගියාම පාඩුව ඉවරද?


රවී කරුණානායක ඇමතිකමෙන් අස්(කළා) වුනා...
බැඳුම්කර වංචාවෙන් රටට සිදුවෙච්ච පාඩුව,
ඒකෙන් ඉවර වෙනවද?
ඒ පාඩුව ආයෙත් ගෙවන්නේ කවදාද?
ඒක ගෙවන්නේ රවීද? 
අර්ජුන් මහේන්ද්‍රන් ද? 
අර්ජුන් ඇලෝසියස් ද?
නැත්තං පොදු මහජනතාව වෙන අපිද?