Saturday, March 18, 2017

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස...



අද මාර්තු 18.

මීට අවුරුදු 6කට කළිං, 2011 අවුරුද්දේදී අද වගේ දවසකදී තමයි 2011 පළාත් පාලන මැතිවරණේ ප්‍රථිපල නිකුත් කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ මහජන මන්ත්‍රීධූරයක් වෙනුවෙන් තරඟ කරපු මම, පාන්දර 4.00 වෙනකනුත් දිනපු ලිස්ට් එකේ හිටියත්, උදේ 6.00 වෙද්දි නැවතුනේ සමස්ථ ලිස්ට් එකේ 16වෙනි ස්ථානයෙන්. අපේ පක්ෂේ දිනාගත්ත මන්ත්‍රීධූර ගණන 14ක්. මනාප ඡන්ද 3550ක් වගේ ඉතා විශාල ගාණක් අරගෙන මම 16 වෙනියා බවට පත්වුනා. කරන්න දෙයක් නැහැ. සභාවට යන්න පුළුවං 14 දෙනාටයි. මම ඒ ගොඩේ නැහැ... සරළයි. මම පරාදයි!!!

ප්‍රාදේශීය සභාවක ඡන්දෙකදී මනාප 3550ක් තිබ්බ කෙනෙක්, ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ පැරදිලා ගෙදර ගිහින් නැහැ. ඒ ඉතිහාසය වෙනස් කරන්න රසික නානායක්කාරට පුළුවං උනා. කොච්චර මනාප තිබ්බත් කරන්න දෙයක් නැහැ. මම පරාදයි!!!

හැබැයි, පැරදුනා කියලා මම දේශපාලනෙන් පළාගියේ නැහැ. අනන්ත උපහාස, අපහාස, සරදම් මැද්දේ, නොසළකාහැරීම් මැද්දේ, රැවටීම් සහ බිලිදීම් මැද්දේ, ඒ හැම දෙයක්ම දරාගෙන, කාගෙන මමත් දේශපාලනේ කළා. ඉස්සරහටත් දේශපාලනේ කරනවා. සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට නොහිටියත්, මම නියෝජනය කරන ජනතාව සහ ප්‍රදේශය වෙනුවෙන් පහුගිය කාලය පුරාම අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. මගේ ෆේස්බුක් ටයිම් ලයින් එක හරහා යන ඕනෑම කෙනෙක්ට ඒ බව ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ධූරකාලය අවුරුදු 4යි. මිනිස්සු මට ඡන්දේ දුන්නේ අවුරුදු 4ක කාලයක් මම ඔවුන්ගේ නියෝජිතයා විදියට පත්කරගන්න. හැබැයි මම පත් උනේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒත් අවුරුදු 4ක් නෙමේ 6ක්ම ගත වෙලා තිබ්බත්, අදත් මගේ ප්‍රදේශයේ ජනතාව මාව හමුවෙන්න එනවා තමන්ගේ ගැටළු වෙනුවෙන් මගේ මැදිහත්වීම ලබාගන්න. ඒ තමන්ගේ නියෝජිතයා විදියට ඔවුන් මාව දකින නිසා වෙන්න ඇති.

ඊළඟ පළාත් පාලන ඡන්දේ තියෙන්නේ කවදාද කියන එක ගැන අදටත් තවම නිශ්චිත අදහසක් කාටවත් නැහැ. හැබැයි කවදා හරි දවසක පළාත් පාලන ඡන්දේ තියන්නම වෙනවනේ. අන්න එදාට රටට ආදරේ, රට ආරක්ෂා කරපු, රට ආරක්ෂා කරන, ප්‍රගතිශීලී කඳවුරේ දේශපාලන ප්‍රවාහයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන මැතිවරණ කොට්ඨාශයේ රද්දොළුගම නිවාස සංකීර්ණය වෙන මගේ කොට්ඨාශය වෙනුවෙන් මම තරඟ කරනවා.

මේ සටහනට අමුණලා තියෙන ඉමේජ් එක, පහුගිය අවුරුදු 6ම මාර්තු 18 වෙනිදට මම ෆේස්බුක් දැම්මා. ඒ දැම්මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියක අන්තිම පේළිය වෙච්ච "කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස" කියන මේ කවිපදේත් එක්ක. අවුරුදු 6කට පස්සේ මම ඒ පේළිය තිබ්බ සම්පූර්ණ කවියම සටහන් කරනවා...

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව ~ ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය...
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත ~ කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස...


මට විශ්වාසයි,
හෙට එච්චර කළුවර නෑ!!!

Wednesday, March 15, 2017

පෞද්ගලීකරණය සහ අපේ රට | Privatization in Sri Lanka



පුද්ගලීකරණය කියන්නේ ඉතා යහපත් සංකල්පයක්. ඒකෙන් ලබන්න පුළුවන් ලාභ ප්‍රයෝජන අප්‍රමාණයි. අත්කරගන්න පුළුවන් ක්ෂණික සංවර්ධනය විශාලයි. ඒක අවිවාදිතයි. හැබැයි අපේ රටේ පුද්ගලීකරණය කියන ක්‍රියාදාමය නිසා ඇත්තටම වෙන්නේ සුගතියක්ද, නැත්තං අගතියක්ද? මේ ඒ ගැන මගේ සත පහ. 

අපේ රටේ පුද්ගලීකරණය සඳහා නම් දරලා තියෙන්නේ UNP ආණ්ඩු. 77-94, 2001-2004 ආණ්ඩු දෙකම ඉතා සාර්ථක විදියට රජයේ ආයතන විකුණලා රටට "මහා සංවර්ධනයක්" අත්කරලා දුන්නා. හැබැයි ඔය කියන පුද්ගලීකරණය කරපු විදිය හරිද? ඇත්තටම ඒකෙන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වෙට ආවද? නැත්තං අපි නැති උන එක විතරද උනේ?UNP ආණ්ඩු පෞද්ගලීකරණය කරන පට්ට පජාත තුප්පහි විදිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු.

ඉස්සෙල්ලාම කරන්නේ ඒ අදාළ ආයතනය බලෙං පාඩු ලබන තත්ත්වයට පත් කිරීම. ඒක කරන්න බොහොම ලේසියි. තමංගේ හෙංචයියෝ ඒ ආයතනයේ මුල් පුටුවලට පත්කරලා උවමනාවෙංම ඒ ආයතනය වැටෙන්න දෙනවා. ඉතාම වගකීමෙන් යුතුව කියන්නං, මම මේ ලිපිය ටයිප් කරන මේ වෙලාවෙදිත් රටේ තියෙන බොහොමයක් රජයේ ආයතන තුළ ඔය වැඩේ වෙනවා.

ඊට පස්සේ තමංගේ ජනමාධ්‍ය හෙංචයියන් පාවිච්චි කරලා පත්තර පිටු, ටීවී චැනල්, දැං මේ අපේ මනෝරම කරනවා වගේ ෆේස්බුක්, වෙබ් සයිට් පුරවලා ජනමතයක් බලෙං ගොඩ නංවනවා මේ ආයතන පාඩුයි, මේවා පවත්වාගන්න බෑ කියලා. මිනිස්සුත් ඒක පිළිගන්නවා. ඇයි කරන්ට් එක නෑ. වතුර නෑ. කෝච්චි නෑ. සතොසේ බඩු නෑ. ඉතිං පාඩුයි තමයි. අපේ මුදලින් නඩත්තු වෙන ආයතන මෙහෙම කාළකණ්ණි වෙනවට කවුද කැමති. ජනමතය නිකංම හැදෙනවා, පෞද්ගලීකරණය ඉතා යහපත් දෙයක් විදියට. මේ ආයතන ඊට පස්සේ පෞද්ගලීකරණය කරනවා. ඒක කරන්නේ ඊට පජාත විදියට. ආයෝජක බුවා විදියට එන්නෙත් තමංගේ ගජ මිතුරෙක්, ගොට්ටෙක් හෝ ගැත්තෙක්. ඔය "මහා ආයෝජකයාට" ලංකා බැංකුවෙන්/මහජන බැංකුවෙන්/ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් දීර්ඝ කාලීන ණයක් අරගෙන දෙනවා අර විකුණන රාජ්‍ය ආයතනය මිලදී ගන්න. අන්තිමේ බලද්දී සෝ කෝල්ඩ් ආයෝජකයෝ ගෙනාව රෙද්දේ ආයෝජනයක් නෑ. ඌ සත පහක්වත් මේ රටට හෝ රජයට අලුතෙං ගෙනල්ලා දෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු බැංකුවල තැන්පත් කරපු සල්ලිවලිං ණයක් අරගෙන අපේම (රජය = මහජනතාව) ආයතනයක් මිලදී ගන්නවා. ඊට පස්සේ ඒක වට්ටන්න කළිං තිබ්බ සාමාන්‍ය තත්ත්වෙට ආයේ ගේනවා. එතකොට ප්‍රයිවටයිස් කිරිල්ල හොඳායි කියලා රටේ ඉන්න උ.බු.ජ හැමෝම උඩ පැනලා කියනවා.

UNP ආණ්ඩු කාලේ කරපු හැම ප්‍රයිවටයිස් කිරිල්ලක්ම සිද්ධ කළේ ඔය විදියටම තමයි. ටයර් සංස්ථාව, සතොස, පේෂ කර්මාන්ත, ඔය මට මතක උදාහරණ කීපයක් විතරයි. තව උදාහරණ ඕනේ තරං ඇති.

77-94, 2001-2003 මේ කාල ප්‍රාන්තර දෙකේම කරපු දේ ආයේ 2015-20XX දක්වා වෙන්නෙත් ඒ විදියටම තමයි. මොකද කාලේ මාරු උනා කියලා වැඩේ කරවන උන්දැලා එකෙක්වත් මාරු උනේ නැහැ. උං ඔක්කෝම තව ටිකක් කට්ට කෛරාටික උනා ඇරෙන්න.

පුද්ගලීකරණය කියන්නේ ඉතා හොඳ සංකල්පයක්. නමුත් UNP ආණ්ඩු විසින් කරන පුද්ගලීකරණයන් නිසා රටට වෙන්නේ වාසියක් නෙමේ මහා පරිමාණ අලාභයක්. ඒක තේරුම් ගන්න රොකට් සයන්ස් තියරි අවශ්‍ය නෑ.

අපේ බැංකුවලින් ණය අරගෙන අපේ සම්පත්ම මිලදී ගෙන උං ලාභ ලබන පුද්ගලීකරණය එපා!!!
මේ දුර්දාන්ත ආණ්ඩුව ඉන්නකම්, පුද්ගලීකරණය නම් එපා!!!
 
(මේ සටහන ලිව්වේ ගිය අවුරුද්දේ අද වගේ දවසකදි මනෝරම වීරසිංහ ලිව්ව ස්ටේටස් එකකට උත්තරයක් විදියට. අවුරුද්දක් පරණ උනත් මේ කතාව එදා වගේම අදත් එක හා සමානව වලංගුයි.)

Thursday, March 9, 2017

ජාත්‍යන්තර කාන්තා දිනය 2017 | International Women's Day 2017



ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ ඊයේ ය. මේ අපේ රටේ කාන්තාව සහ කාන්තා දින සැමරුම ගැන මගේ සත පහ ය.

සෑමදාම වාගේ ඊයේත් කාන්තා දිනේ බොහොම සරුවට සැමරුනේ ය. රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ භේදයක් නැතුව බොහෝ කාර්යාලවල කාන්තා දිනය වෙනුවෙන් විවිධාකාර වැඩසටහන් පැවැත්වුනේ ය. "තුන්කල් දකින්නී, සවියෙන් දිනන්නී" මේ අවුරුද්දේ අපේ රටේ කාන්තා දිනේ තේමාව ය. තේමාවක් විදියට ඒක බොහෝම ලස්සන ය. නමුත් අපේ රටේ කාන්තාවන්ව ඔය තේමාවට අනුව රකිනවාද, දිනවනවා ද යන්න ගැන නම් විශාල ප්‍රශ්නයක් තියෙන්නේ ය. 

කාන්තා අයිතිවාසිකම් ගැන, සමතැන හෝ නිසි තැන ලබා දීම ගැන බොහෝ සේ සංවාද කතා බහ ඇතිවෙන අන්තර්ජාලයේ හෝ කාන්තාවන් හට ගරුත්වයක්, ආරක්ෂාවක් තිබෙනවාද යන ප්‍රශ්නය අද කාන්තාව ඉඳිරියේ ඇති ගැටළුවක් බව අපේ වැටහීම ය. යම් දෙයක් ගැන තමන්ගේ මතය නිර්භයව අන්තර්ජාලයේ හෝ ප්‍රකාශ කරන්න අද අපේ රටේ කාන්තාවන්ට ඉඩක් තිබෙනවාද කියලා මම අලුතෙන් කියන්න ඕනෑ නැත්තේ ය. සිස්ටම් එකෙන් පිට අදහසක් දරණ කාන්තාවක් වෙත්නම්, ඒ කාන්තාව වෛශ්‍යාවක් කර ඇයගේ සම්පූර්ණ අන්තර්ජාල ජීවිතයම විනාශ කරන්න ගතවෙන්නේ පැය කීපයක් පමණක් බව පහුගිය අවුරුදු දෙක තුනේදී අත්දැකීමෙන්ම අපි දැක්කේ ය. අන්තර්ජාලය තුළදී අමු අමුවේ කාන්තාවන්ගේ චරිත ඝාතනයන් සිදුකරන සමාජයක ජීවත් වීමට ලැබීම ම එක්තරා ආකාරයක කරුමක්කාරකමක්ම ය. 

කිසියම් පිරිමියෙක්ව විශ්වාස කර නිරුවත් වෙන කාන්තාවකගේ නිරුවත කුමක් හෝ හේතුවක් මත අන්තර්ජාලයට එක්වූ අවස්ථාවක, පොදු අන්තර්ජාල සමාජය විසින් අසාධාරණයට ලක් වූ ඒ කාන්තාවව ආරක්ෂා කරනු වෙනුවට, ඇයගේ සම්පූර්ණ පට්ටන්දරයම සොයාගෙන ඒ විස්තර අන්තර්ජාල ගතකර, ඇය ජීවිතයෙන් සමුගන්නා තැනට ගෙන එන්නට සැදී පැහැදී සිටින තුප්පහි ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා සහ ඒ කුණු රස කර කර වළඳනා තුප්පහි ෆේස්බුක් සමාජ ජාල ප්‍රජාවක් සිටින රටක කාන්තා දින අභිමානයෙන් සමරන්නේ කෙසේ දැයි අපට වැටහෙන්නේ නැත්තේ ය. අඩුම තරමින් ඒ ආකාරයේ අසාධාරණයකට ලක්වූ කාන්තාවකට නීතියෙන් හෝ පිළිසරණක් ලැබීමට නොහැකි අවස්ථාවක් රට තුළ ඇති විට, මේ රටේ මේ යුගයේ කාන්තාවක්ව ඉපදීමම කරුමයක් ලෙස දකින්නට මම පැකිළෙන්නේද නැත්තේ ය.

පොදු සමාජයේ කෙසේ වෙතත්, අන්තර්ජාලය තුළදී හෝ කාන්තාවන්ගේ ගරුත්වය රැකෙන, කාන්තාවන්ව ආරක්ෂා කරන, අසාධාරණයන්ට ලක්වන්නියන් වෙනුවෙන් නීතියේ පිළිසරණ ලැබෙන දිනයක, මමත් ඉතා අභිමානයෙන් කාන්තා දිනය සමරන්නට බලාපොරොත්තු වෙනවා ය. අන්තර්ජාලයේ ජීවත්වෙන තරුණයන් වශයෙන් ඒ ආකාරයේ පරිසරයක් අප ජීවත්වන අන්තර්ජාල සීමාව තුළ නිර්මාණය කිරීම අපේ යුතුකමක් සහ වගකීමක් ය.

මේ මොහොතේදී කාන්තා දිනය සැමරීම වෙනුවට අප සිදු කළයුත්තේ ඒ වෙනුවෙන් වැඩ කිරීමය!!!

Monday, March 6, 2017

සුබ ගමන් මගේ මිත්‍රයා | Adiós Comrade



මම ඔබව කවදාවත් දැකලා නැහැ... කතාවක් අහලත් නැහැ...
අඩුම ගානේ, ඔබේ කතාවක් කියවලාවත් නැහැ...
ඒත්, ඔබ මම ගරු කරන පුද්ගලයෙක් විදියට හැමදාම හිටියා...

ලෝකෙම ලොක්කගේ අල්ලපු ගෙදර ඉඳගෙන,
ලොක්කාගේ පදේට නටන්නේ නැතුව,
ඔබේ පදේට ඔබ නටද්දි,
මගේ ලෝකයේ ඔබ වීරයෙක් උනා...
 

ඔබ විශ්වාස කරපු දේශපාලන දර්ශනය,
මම එකහෙළා විශ්වාස නොකරත්,
ඔබේ දේශපාලනය,
මගේ දේශපාලනය එක්ක සමපාත නොවුනත්,
හැමදාම මම ඔබේ කඳවුරේ හිටියා...
ඒ ඔබ ඔබම නිසා...


අද ඔබ නැති උනාම,
ඒ සන්තෝසෙට,
කිරිබත් කන අය, රතිඤ්ඤා පත්තුකරන අය,
ඔබේ තටෙත් ඇති...
ඒ දේශපාලනයේ හැටි...
පරිනත නායකයෙක් වෙච්ච ඔබ,
ඒ බව දන්නා බව මම දන්නවා...

එසේනම් මගේ ආදරණීය මිත්‍රයා,
හියුගෝ චාවේස්....
අපි හැමෝම යන ගමනක්,
ඔබ අපිට කළිං ගියා...
ආයෙත් කවදාකහරි දවසක,
ඔබත් අපිත් හමුවේවි...

අන්න එදාට,
ලොක්කාගේ පදයට නටන්නේ නැතිව,
ඔබේ පදයට නටන ඔබ දිහා බලාගෙන,
සන්තෝසෙන් ඉන්නං...
ඔබට සුබ ගමන්...

වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මෙලොවින් සමුගෙන වර්ෂ 4ක් පිරෙන මේ මොහොතේ, 2013 වසරේදී ඔහුගේ අභාවය වෙනුවෙන් ලියූ සටහනකි... 

Friday, March 3, 2017

මාර්තු 03 - ලෝක වනජීවී දිනය වෙනුවෙන්...



2013 වර්ශයේ දෙසැම්බර් 20 වෙනිදා තමයි එක්සත් ජාතීන්ගෙ 68 වන සැසිවාරයේදි මේ දිනය ප්‍රකාශයට පත් කලේ. CITES සම්මුතියට අත්සන් තැබීමට සමගාමීව මේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ දිනය සැමරීම සහා අදාල කාර්යභාරයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවරලා තියෙන්නෙ CITES ලේකම් කාර්යාලයට. මේ අවුරුද්දේ තේමාව "Listen to the young voices" එහෙමත් නැතිනම් "තරුණ හඬට සවන් දෙමු" කියන එක. ඔව්, මේ සඳහා පෙරමුණ ගන්න සුදුසුම කණ්ඩායම තමයි ලොව පුරා ඉන්න තරුණ පිරිස.

පහුගිය කාලේ පුරාම අපේ රටේ වන සම්පත, වන ජීවීන් විනාශ කිරීමට විරුද්ධව තරුණයන් පෙරමුණ ගෙන කටයුතු කරපු විදිය අපි දැක්කා. සමස්ථ සොබාදහමේ පැවැත්ම වෙනුවෙන් ඒ මැදිහත්වීම ඉතාමත්ම යහපත් සහ අත්‍යවශ්‍යයි කියලා ආයේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. පාරට බැහැලා වැඩක් කරන්න හැමෝටම බැරි වෙන්න පුළුවන්. නමුත් තමන්ට හැකි විදියට, කුමක් හෝ කරන එකයි අත්‍යවශ්‍ය දේ. විශේෂයෙන්ම මේ තොරතුරු යුගයේදී අන්තර්ජාලය හරහා ලොකු දෙයක් කරන්න හුඟ දෙනෙකුට පුළුවනි. දැනට තියෙන දායකත්වයම, ඉඳිරියටත් සිදු කිරීමයි සිදු කළයුතුයි. 

වන සම්පත, වන ජීවීන් වෙනුවෙන් දවසකට එක දෙයක් කරමු. අපි හැමෝම එක්කහු උනාම ඒ එක දේ ලොකු දෙයක් වෙන එක ස්ථීරයි...

#DoOneThingToday
#youth4wildlife
#WildLifeDay2017
#YoungVoices

විශේෂ ස්තූතිය :- මේ ගැන දැනුවත් කරපු Don Supzට....

Thursday, March 2, 2017

ජේආර්, හෙක්ටර්, පීටර්, රනිල්, මහින්ද සහ නිදහස් පක්ෂේ අපි...



හෙක්ටර් කොබ්බෑකඩුවට වෙච්ච දේ ආපහු 87 දී උනේ පීටර් කෙනමන්ටය. ඡන්ද පොලට ගිය හෙක්ටර් වගේම කෙනමනුත් ආවේ හිස් අතින්ය. ඒ තමන්ගේ ඡන්දය යූඇන්පී ආණ්ඩුව විසින් හොරාට දමාගෙන තිබූ නිසාය. මේවා දේශපාලනික‍ ගේම්ය. ශ්‍රී ලාංකිකයින්ට හිතන්නවත් බැරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂකාරයන්ට අදටවත් හැරෙන්නවත් බැරි දේශපාලනික ගේම් ය.

ලෝකයට බල දේශපාලනය කියලා දීපු මැකියවෙලී ගේ තියරි ප්‍රායෝගිකව ලංකාවට කියලා දුන්නේ ජේ.ආර්. ය. එදා අලියට කතිරය ගහපු පිනට දුන්නේ විශේෂ සේවා නිලධාරීකමය. වහා නිලධාරීන් ලෙස පත් කළේ යූඇන්පී ආණ්ඩුවට හිතවත් උදවිය ය. ඊට පස්සේ පත්උනේ ග්‍රාම නිලධාරීන්ය. ඒ හැමෝම ජේ.ආර්.‍ ගේ ඡන්ද යාන්ත්‍රනයේ කොටස්කරුවන්ය. මේ හැමදේම ජේ.ආර්.‍ ගේ කපටිකම කවලම් වෙච්ච සැලසුම් සහගත මොළයේ සුපිරි ප්‍රථිපලය.

යූඇන්පී යේ සැලසුම්සහගත බව එක්ක ශ්‍රී ලංකා කාරයින්ට හැරෙන්නටවත් බැරිය.


ලඟම උදාහරණය බැඳුම්කර වංචාවට මහින්ද රාජපක්ෂ කොටුකරගත් හැටිය. මහින්ද ගෙදර ගියේ ජනවාරි 8 වෙනිදාය. ජනාධිපතිකමේ තියා, මුදල් ඇමතිකමේ වත් නැති මහින්දගේ අත්සන ඊට මාසෙකට පස්සේ ගැසට් පත්‍රයේ තිබෙන්නේ කෙසේද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය. මේවා සැලසුම් සහගත කුමන්ත්‍රණය. එක්සත් ජාතික පක්ෂයට පමණක් ආවේණික කුමන්ත්‍රණය.
අපි ආණ්ඩුව හදනකොට ඒකට විරුද්ධ වෙච්ච එක්සත් ජාතික පක්ෂ උදවිය පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පැමිණි විට, දෑත් ශක්තිමත් කරන්නට පැමිණ අපේ ආණ්ඩුවේම වැඩකාරයින් හා කෙරුම්කාරයින් විය. මේවා මාරම මාර ‍දේවල්ය. එදා මහින්දගේ කරට අත දමාගෙන සිටි එක්සත් ජාතික පක්ෂ නායකයින් අද මහන්දට ගහන්නේ බිම දමාගෙනය. යූඇන්පීයේ සැලසුම් සහගත දේශපාලන ගේම තේරුම් ගැනීමට පස්ස බිම ඇනගෙන සිටින අපේ උන්ට තාම බැරිය.

මේ වචන ලිව්වේ නිර්මල කොතලාවල | Nirmala Kothalawala - නිර්මල කොතලාවල - நிர்மல கொத்தலாவல, හිටපු ඇමතිතුමා ය. එතුමාගේ කතාව සහසුද්ධෙන්ම ඇත්ත ය. රටේ වෙච්ච මහාම මංකොල්ලය වූ බැඳුම්කර ගේම මහින්දගේ කරපිටට පටවන වැඩේ ෂුවර් එකටම යූඇම්පී නායකයන් කරන්න තියෙන ඉඩ ඉතාම වැඩි ය.

හදවතේ මහින්දව තියාගෙන ෆේස්බුක් දේශපාලනේ කරන අපේ බුවාලා සහ රට වෙනුවෙන් ෆේස්බුක් එකේ කැම්පේන් කරන අපේ බුවාලා අද මේ මොහොතේ කරන්නේ මොකක්ද? සිරිසේනගේ ෆොටෝ එඩිට් කරලා පේජ් කිරිල්ල සහ ඒවා ගැන ප්‍රසිද්ධියේ එක එකාගේ රෙද්ද ගලවා ගැනීමය. ඉලක්කය විය යුත්තේ සිරිසේන නොව යූඇම්පීය ය. මේ වගේ සූක්ෂම ගේම්වලින් මහින්දව ගෝඨාභයව කොටුකරලා හිරකරලා දානකම් ෆේස්බුක් කකුළුවෝ සෙට් එකටම පට්ට ආතල් ය. නමුත් අවසානේ කෙළවෙන්නේ රටට ය. මේ යුනිකෝඩ් සත පහ ඒ වෙනුවෙන් ය.