Monday, December 31, 2018

2018 ගෙවුන හැටි | How was 2018


2018 අවුරුද්ද තව පැය කීපයකින් ඉවර වෙනවා. 2018දී කරපු කියපු, ඇතිවුණ නැතිවුණ, සිදු වුන සිදු නොවුන දේවල් එක්ක බලද්දි වෙනත් අවුරුදුවලට සාපේක්ෂව 2018 අවුරුද්ද මට ගොඩක් හොඳයි කියන එක නම් කියන්න පුළුවනි.

2018දී කරපු සාර්ථකම දෙයක් විදියට පෙන්වන්න පුළුවන් දේ තමයි මගේ අතින් පරිසරයට බැහැර කරන පොලිතීන් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන් වෙච්ච එක. ඉස්සර රාජකාරියට යද්දි උදේ සහ දවල් කෑම පාර්සල් බැඳගෙන ගියේ ලන්ච් ෂීට් එකක. ඒ නිසා අනිවාර්යෙන්ම දවසට ලන්ච් ෂීට් දෙකක් විසිකරන්නම සිද්ධ උනා. අවුරුද්දකදී මේක ඉතා විශාල ගාණක්. ඒ වගේම මම රාජකාරී කරන ස්ථානයේත් ලන්ච් ශීට් භාවිතය අවම කරගන්න අපිට පුළුවන් උනා. දැන් දවසකටම විසි කරන්නේ ලන්ච් ෂීට් දෙකක් විතරයි. ඒකත් බෝඩ් වෙලා ඉඳලා එන දෙන්නෙක්ගෙන්. මට හිතෙන විදියට දළවශයෙන් පොලිතීන් කිලෝ 5ක් විතර අපි පරිසරයට බැහැර කරන එක නවත්තලා තියෙන්නේ. ඒ ගැන මතක් වෙද්දි නං හිතට ඇත්තටම ඇතිවෙන්නේ විශාල සතුටක්.

ඒ වගේම තමයි කඩේ/පොළේ/සුපර් මාකට් යද්දි ගෙදරින් රෙදි හෝ වෙන බෑග් එකක් ගෙනියන්න හුරු වුන එක. වෙන අවුරුදුවලට වඩා සුපර්මාකට් වලින් බඩු ගන්න එක මේ අවුරුද්දෙදි බොහොම වැඩි වුනා. මේ නිසා හැකි සෑම විටකදීම ගෙදරින් රෙදි බෑග් එකක් හෝ කීපයක් අරගෙන යන්න කටයුතු කෙරුවා. ඒ වගේම සුපර් මාකට්වලින් එළවළු/පළතුරු මිලදී ගද්දි ඒ ඔක්කොම එක බෑග් එකකට දාලා බිල් ඔක්කෝම ඒකේ අලවගන්න එකත් සිදුකෙරුවා. මුලින් මුලින් ඒක ටිකක් විකාර වැඩක් වගේ පෙනුනත් නවත්තන්නේ නැතුව දිගටම කරපු නිසා කඩේකට යනවා නං බෑග් එකක් සාක්කුවේ දාගෙන යන එක දැන් පුරුද්දක් විදියටම ඇවිල්ලා තියෙනවා. ඒ ගැනත් හිතට ගොඩක් සතුටුයි.

මේ පුරුදු මේ විදියටම ඉඳිරි අවුරුද්දටත් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව දෙතුන් දෙනෙක්වවත් මේ වෙනුවෙන් එක්කහු කරගන්නත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. 2019දීත් මේ විදියටම කටයුතු කරන්න පුළුවන් වේවි කියන විශ්වාසේ දැඩිව තියෙනවා.
තමන් ජීවත් වෙන පරිසරය වෙනස් කරන්න, ලෝකේ වෙනස් කරන්න මහා විශාල දේවල් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රියාවෙන් බොහොම පොඩිවුනත් යහපත් දෙයක් නොකඩවා හැමදාම සිදුකරන එකෙන් විශාල වෙනසක් සමාජයට සිදුකරන්න පුළුවනි. මට ඒක පුළුවන්නං අනිවාර්යෙන්ම ඔබටත් පුළුවනි.

ඔබ සැමට සියළු යහපත් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!

~ රසික නානායක්කාර ~

Wednesday, March 14, 2018

ආණ්ඩුවේ Social Media තහනම සහ අපි!



ශ්‍රී ලංකාවේ වර්ථමානයේ බලයේ සිටින #යහපාලන ආණ්ඩුව ජාතිවාදී කෝලාහලයන් හමුවේ තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට සමාජ ජාලයන් අවහිර කර අදට හරියටම සතියක් ය. ජාතිවාදී කලබලයන් ඇති වුනේ දිවයිනේ දිස්ත්‍රික්ක 1ක පමණක්ම වන නමුත්, සමාජ ජාල අවහිරය සිදුවූයේ සමස්ථ රටටම ය. පැවති තත්ත්වය මුල් අවස්ථාවේදීම පාලනය කිරීමට අපොහොසත්වූ රජය ඒ වෙනුවට සමාජ ජාල තහනම රැගෙන ආවේ තත්ත්වය සමනය කිරීම කෙසේ වෙතත් තමන්ගේ මජර දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බව පැහැදිලි ය. දැනට දින කීපයකට පෙර සිටම එම ජාතිවාදී කෝලාහලයන් උග්‍ර වූ ප්‍රදේශවල පවා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට හැරී ඇති නමුත්, සමාජ ජාල තහනම තවමත් ඒ ආකාරයෙන්ම තිබීම අතිශය ජුගුප්සාජනක සිදුවීමක් ය. රජය විසින් මේ මොහොතේදී සිදුකරන්නේ තමන්ගේ තක්කඩි දේශපාලන අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම බව ඉර හඳ මෙන් පැහැදිලි ය. 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති භාෂණයේ නිදහස රජය විසින්ම මේ ආකාරයට අමු අමුවේ උල්ලංඝණය කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව අපේ කියවීම ය. රජය විසින් මේ අත තබා තියෙන්නේ පුද්ගල නිදහස අහුරන්නට ය. මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක කිසිසේත් සිදු නොවිය යුතු දෙයක් ය. නමුත් අතිශය බහුතරයක් වූ රටවැසියන්ගේ කරුමයකට, මේ නරුම ආණ්ඩුව සිදුකරන්නේ ඒ නොකළ යුතු දේම ය. 

තොරතුරු තාක්ෂණයට සීමා මායිම් නැති බව තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් හෝ තරමක දැනීමක් තිබෙන සබුද්ධික සවිඥානික මිනිසුන් දන්නවා ය. VPN භාවිතයෙන්, Onion Browsing භාවිතයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් සමාජ ජාලවලට පිවිසෙන්නේ තොරතුරු තාක්ෂණය වැටවල් ගසා නතර කළ නොහැකි නිසාම ය. ශ්‍රී ලංකාව තුළ මේ වනවිටත් වෙනත් තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ යමින් සමාජ ජාල භාවිතා කළ හැකි බව නොදන්නා බොහෝ පිරිසක් ඉන්නේ ය. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් විදියට අපේ වගකීම වන්නේ අන්න ඒ තාක්ෂණය නොදන්නා ජනතාව හට තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සිදු කිරීමය. 

තමන්ගේ පරිඝණකයේ හෝ ජංගම දුරකථනයේ VPN එකක් ඉන්ස්ටෝල් කරගැනීම, Tor browser එක ඉන්ස්ටෝල් කරගැනීම නොදන්නා බොහෝ දෙනෙක්ට එය සිදුකරනා ආකාරය පැහැදිලි කර දී ඔවුන්ට සමාජජාල වෙත පිවිසීම සහ එහි සේවාවන් ලබාගැනීමට ඉඩ පහසුකම් ලබා දීම අද දවසේ අපගේ යුතුකමක් වන්නේ ය. එළෙසින් සිදුකිරීම ආණ්ඩුවේ මේ තක්කඩි ක්‍රියාවට විරෝධය පෑමට සිවිල් පුද්ගලයින් වශයෙන් අපට සිදුකළ හැකි දැනෙන ක්‍රියාමාර්ගයක් වන්නේය. 

නිදහස්ව උපන් මිනිසා නිදහස්ව ජීවත් විය යුතුය. ශ්‍රී ලාංකිකයන්ගේ භාෂණයේ නිදහසට වැට බඳින්නට කවුරුන් හෝ උත්සාහ දරණවානම්, එම නිදහස රැකගැනීම වෙනුවෙන් සටන් කිරීම, නිදහස් අධ්‍යාපනයෙන් ලෝකය දුටු අපේ යුතුකමක් සහ වගකීමක් වන්නේ ය. 

මේ අකුරු ටික අද ජනගත කළේ අන්න ඒ යුතුකම සහ වගකීම ඉටුකිරීම වෙනුවෙන්ම ය!!!