Monday, November 21, 2016

උසස් පෙළ ශිෂ්‍යන්ට ටැබ් | Tablet Computers for Students



මේ දවස්වල සයිබර් අවකාශයේ ජනප්‍රියම මාතෘකා දෙක තුනෙන් එකක් වෙන්නේ පහුගියදා #යහපාලන මුදල් ඇමති රවී බොසා අයවැය යෝජනාවක් විදියට ගෙනත් අතෑරිය උසස් පෙළ ළමයින්ට ටැබ් දෙන යෝජනාවය. මේ වෑයම ඒ අදහස ගැන මගේ සත පහ ඉඳිරිපත්කිරීමටය.

මේ කතා කරන්නේ ටැබ් ගැන නෙමේය. මේ කතාව ටැබ් එකෙන් එහාට දිවෙන්නක්ය. මේ කතා කරන්නේ අධ්‍යාපනය ඩිජිටල් කිරීම ගැනය. අධ්‍යාපනය ඩිජිටල් කරන වැඩේ අධ්‍යාපන අමාත්‍යංශය පටන් ගන්නේ අදට අවුරුදු 10කට විතර කළින් 2006/07 කාලයේදීය. School Net යනු ඒකේ ලොකුම ප්‍රොජෙක්ට් එකය. ඒ ප්‍රොජෙක්ට් එකේ අරමුණ වූයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් හදන එකය. දිවයිනේ සමස්ථ පාසැල් 10,000කට අධික ප්‍රමාණයෙන් පාසැල් 1700කට අධික ගණනක් මේ School Net එක සමඟ සම්බන්ධ කර තිබුණේය. අධ්‍යාපන කන්ටෙන්ට් බෙදාගන්න, තමන්ගේ පාසලේ වෙබ් අඩවිය හොස්ට් කරගන්න, ඊමේල් හදාගන්න, School Net එක හරහා හැකියාව තිබුණේය. හැබැයි දැන් School Net එක නැත්තේය. ඒකට හේතුව දරාගන්න බැරි තරම් මුදලක් ඒ වෙනුවෙන් දරන්නට සිදුවීමය.දැන් ආයෙත් වෙන මුහුණුවරකින් School Net එක හෙමින් හෙමින් නැගිටින්නේය. ආණ්ඩුවට රටේ අධ්‍යාපනය ඩිජිටල් කරන්න ඇත්තම උවමනාවක් තිබුණානම් ඉස්සෙල්ලාම කළ යුතුවෙන්නේ මේ School Net එක කෙළින් කටින් හිටවලා රටේ ඉතුරු පාසල් සියල්ලටමත් ව්‍යාප්ත කරන එකය.

ටැබ්ලට් පරිගණක හෝ ලැප්ටොප් හෝ, මොනයම් හෝ ඩිජිටල් උපාංගයක් දරුවන්ට දෙන එක අත්‍යවශ්‍යම වැඩක්ය. හරි නං ඕක දිය යුතුව තිබ්බේ මීට අවුරුදු 4කට 5කටවත් පෙරය. මෙතනදී අවංකවම කල්පනා කළ යුත්තේ ටැබ් එක අරගෙන කරන්න තරම් දෙයක් අපේ උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දීලා තියෙනවාද කියන එකය. අච්චු පොත් PDF කරපු එකෙන් එහාට ඩිජිටල් උපාංග පාවිච්චි කරලා කරන්න දෙයක් තවමත් තියෙනවාද කියන එක ගැන බැලිය යුතුය. එහෙම දෙයක් තවම නැතිනම්, අඩුම ගානේ නුදුරු අනාගතයේ එහෙම අවශ්‍ය අනෙකුත් දේවල් (අවම වශයෙන් එක් එක් විෂයන් සඳහා වෙන වෙනම App) සකසාගන්න කථිකාවතක් හෝ අදාළ තැන්වල ඇති වී තිබෙනවාදැයි සොයා බැලිය යුතුය. එහෙම අදහසක්වත් නැති බව දැන දැනත්, එකපාරටම ළමයින්ට ටැබ් දීලා කරන්න යන වැඩේ මොකක්ද කියන්න මටනම් තේරෙන්නේ නැත්තේය.

රටේ අධ්‍යාපනය අලුත් මානයකට යා යුතුමය. නමුත් ඒ මානයට යා යුත්තේ නියමිත විධිමත් වැඩපිළිවෙලක් හදාගෙන ඒ අනුව පියවරෙන් පියවරය. අන්තිමට කරන්න ඕනේ වැඩේ ඉස්සෙල්ලාම කෙරුවෝතින් සිද්ධ වෙන්නේ සම්පූර්ණ වැඩේම සෙත්තපෝච්චි වෙලා යන එකය. මගේ ඉල්ලීම මේකය, ටැබ් දෙන එක හොඳ වැඩක්ය. නමුත් කිසිම සූදානමක්, වැඩ පිළිවෙලක්, මොකක්වත් නැතුව දෙන එක නං අන්තිම මරිමෝඩ වැඩක්ය. මේ #යහපාලන ආණ්ඩුව, එහෙම මරිමෝඩ වැඩ කරන්න උපන් හපන්කම් තියෙන ගොබ්බ ආණ්ඩුවක්ය. අපේ ලොකුම බයත් අන්න ඒකමය.

මගේ සත පහ ඉවරයිය. කියෙව්ව සැමට ස්තූතියි ය.

No comments:

Post a Comment