Thursday, December 29, 2016

අමායා ලේක් පාලනාධිකාරියට ආදරයෙන්...


යාවත්කාලීන කිරීම - 2016-12-30 ප.ව 4.00
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉංජිනේරු එල්. ආර්. හේරත් මහතාගේ අත්සනින් යුත් ලිපියකින් අමායා ලේක් හෝටලයේ පාලනාධිකාරියට මෙම ගිණිකෙළි සංදර්ශනය වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා දමන ලෙස නියෝග කර ඇත. ඒ අනුව එම ගිණිකෙළි සංදර්ශනය අවලංගු කළ බව අමායා ලේක් හෝටලයේ පාලනාධිකාරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.

Amaya Lake, Dambulla හෝටලේ පාලනාධිකාරිය දෙසැම්බර් 31 රෑ සදා අමතක නොවන ෆන් එකක් එක්ක 2016ට සමු දී 2017ට ආයුබෝවන් කියන්නට ඉවෙන්ට් එකක් සංවිධානය කර තිබේ. ඒ ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් ඒ සදා අමතක නොවෙන අත්දැකීම ඔවුන් ලබා දෙන්නට තීරණය කර ඇත්තේ කණ්ඩලම වැවේ වැව් පිට්ටනියේය. ඒ වගේම ඒ සදා අමතක නොවන අත්දැකීම අලංකාර මල්වෙඩි සන්දර්ශනයකින් වර්ණවත් කරන්නටද ඔවුන් කටයුතු කරන බව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනේ සඳහන් විය. අපිට ප්‍රශ්න පැන නඟින්නේ ඔන්න ඔතැනදීය. 


කවුඩුල්ල මින්නේරිය වනෝද්‍යානට යාබද කලාපයේ පිහිටි කණ්ඩලම වැව සහ වැව් පිටිය බොහෝ සතා සිවුපාවුන් යන එන තැනක් බව අලුතෙන් සඳහන් කිරීම අනවශ්‍ය බව අපේ කියැවීමයි. එමෙන්ම රාත්‍රියට වැව් ඉස්මත්තටත්, වැව් පිටියටත් අලි ඇතුන් මෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බව ද Amaya Lake Resort, Dambulla හෝටලේ පාලනාධිකාරිය හොඳින්ම දන්නා බවද අපි දනිමු. 

හිතවත් මහත්වරුනි, ඔබට අවශ්‍ය ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය තරමේ ඉඩ කඩ සහ සුදුසු පරිසරය ඇති තැන් මේ රටේ ඕනෑ තරම් ඇත. කණ්ඩලම වැව් පිටියේ ඔය වගේ ආතල් එකක් දීමෙන් එයින් සතුටු වෙන මනුසතුන්ට වඩා දුකට කරදරයට හානියට පත්වෙන වනසතුන් ප්‍රමාණය අධික බව අපගේ කියවීමය.

හිතවත් හෝටල් පාලනාධිකාරියේ මහත්වරුනි, වනසතුන්ට දෙසැම්බර් 31, ජනවාරි 01, අප්‍රේල් 13/14 යන දවස්වල ඇති විශේෂ ආතල් නැති බව ඔබට මතක් කරමු. ඒ නිසා ඔය ගිණිකෙළි ආතල් එක කණ්ඩලමෙන් ගලවාගෙන කොළඹ/දකුණ හෝ සතුන්ට කරදරයක් නැති ඕනෙම තූත්තුකුඩියකදී පවත්වන ලෙස ඔබට ඉතාම කාරුණිකව දැනුම් දෙන්නෙමු.

සුබ අනාගතයක්...

No comments:

Post a Comment