Saturday, March 18, 2017

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස...



අද මාර්තු 18.

මීට අවුරුදු 6කට කළිං, 2011 අවුරුද්දේදී අද වගේ දවසකදී තමයි 2011 පළාත් පාලන මැතිවරණේ ප්‍රථිපල නිකුත් කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ මහජන මන්ත්‍රීධූරයක් වෙනුවෙන් තරඟ කරපු මම, පාන්දර 4.00 වෙනකනුත් දිනපු ලිස්ට් එකේ හිටියත්, උදේ 6.00 වෙද්දි නැවතුනේ සමස්ථ ලිස්ට් එකේ 16වෙනි ස්ථානයෙන්. අපේ පක්ෂේ දිනාගත්ත මන්ත්‍රීධූර ගණන 14ක්. මනාප ඡන්ද 3550ක් වගේ ඉතා විශාල ගාණක් අරගෙන මම 16 වෙනියා බවට පත්වුනා. කරන්න දෙයක් නැහැ. සභාවට යන්න පුළුවං 14 දෙනාටයි. මම ඒ ගොඩේ නැහැ... සරළයි. මම පරාදයි!!!

ප්‍රාදේශීය සභාවක ඡන්දෙකදී මනාප 3550ක් තිබ්බ කෙනෙක්, ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ පැරදිලා ගෙදර ගිහින් නැහැ. ඒ ඉතිහාසය වෙනස් කරන්න රසික නානායක්කාරට පුළුවං උනා. කොච්චර මනාප තිබ්බත් කරන්න දෙයක් නැහැ. මම පරාදයි!!!

හැබැයි, පැරදුනා කියලා මම දේශපාලනෙන් පළාගියේ නැහැ. අනන්ත උපහාස, අපහාස, සරදම් මැද්දේ, නොසළකාහැරීම් මැද්දේ, රැවටීම් සහ බිලිදීම් මැද්දේ, ඒ හැම දෙයක්ම දරාගෙන, කාගෙන මමත් දේශපාලනේ කළා. ඉස්සරහටත් දේශපාලනේ කරනවා. සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට නොහිටියත්, මම නියෝජනය කරන ජනතාව සහ ප්‍රදේශය වෙනුවෙන් පහුගිය කාලය පුරාම අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. මගේ ෆේස්බුක් ටයිම් ලයින් එක හරහා යන ඕනෑම කෙනෙක්ට ඒ බව ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ධූරකාලය අවුරුදු 4යි. මිනිස්සු මට ඡන්දේ දුන්නේ අවුරුදු 4ක කාලයක් මම ඔවුන්ගේ නියෝජිතයා විදියට පත්කරගන්න. හැබැයි මම පත් උනේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒත් අවුරුදු 4ක් නෙමේ 6ක්ම ගත වෙලා තිබ්බත්, අදත් මගේ ප්‍රදේශයේ ජනතාව මාව හමුවෙන්න එනවා තමන්ගේ ගැටළු වෙනුවෙන් මගේ මැදිහත්වීම ලබාගන්න. ඒ තමන්ගේ නියෝජිතයා විදියට ඔවුන් මාව දකින නිසා වෙන්න ඇති.

ඊළඟ පළාත් පාලන ඡන්දේ තියෙන්නේ කවදාද කියන එක ගැන අදටත් තවම නිශ්චිත අදහසක් කාටවත් නැහැ. හැබැයි කවදා හරි දවසක පළාත් පාලන ඡන්දේ තියන්නම වෙනවනේ. අන්න එදාට රටට ආදරේ, රට ආරක්ෂා කරපු, රට ආරක්ෂා කරන, ප්‍රගතිශීලී කඳවුරේ දේශපාලන ප්‍රවාහයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන මැතිවරණ කොට්ඨාශයේ රද්දොළුගම නිවාස සංකීර්ණය වෙන මගේ කොට්ඨාශය වෙනුවෙන් මම තරඟ කරනවා.

මේ සටහනට අමුණලා තියෙන ඉමේජ් එක, පහුගිය අවුරුදු 6ම මාර්තු 18 වෙනිදට මම ෆේස්බුක් දැම්මා. ඒ දැම්මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියක අන්තිම පේළිය වෙච්ච "කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස" කියන මේ කවිපදේත් එක්ක. අවුරුදු 6කට පස්සේ මම ඒ පේළිය තිබ්බ සම්පූර්ණ කවියම සටහන් කරනවා...

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව ~ ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය...
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත ~ කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස...


මට විශ්වාසයි,
හෙට එච්චර කළුවර නෑ!!!

No comments:

Post a Comment