Monday, May 8, 2017

ඩ්‍රෝන් යවන කන්තලේ ළමයි | Hey Sky, Here We Come

කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ ඡායාරූප සංගමයේ ළමයි සහ ගුරුභවතුන්...
පහුගිය සිකුරාදා (මැයි 05) අපි කීපදෙනෙක් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයට ගියා ඒ ඉස්කෝලේ ඡායාරූප සංගමේ ළමයින්ට "ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි" ගැන දවසක වැඩමුළුවක් කරන්න. ඒ වැඩේ මූලිකත්වය ගත්තේ අපි හැමෝම දන්න අඳුරන අපේ රටේ ප්‍රමුඛතම ඩ්‍රෝන් කැමරා ශිල්පියෙක් වෙන Thisara Madhuwantha(සිහින) මල්ලි. මේ වගේ වැඩසටහනක් කරන්න ඕනේ කියන මූලික අදහසත් එයාගේමයි. ඊට අමතරව Lasantha Priyankara, Dilhan Hakmanage සහ Chammika Pereraත් මේ වැඩේට එක්කහු වෙනවා. ඉස්කෝලේ පැත්තෙන් අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකෙරුවේ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආචාර්යවරයා වෙන Lakmal Kumarasinghe

ඩ්‍රෝන් එක කොන්ට්‍රෝල් කරන්නේ මේකෙන්

ඩ්‍රෝන් එකේ බර අනුව ඒක අයිති වෙන වර්ගය වෙනස් වෙනවා

ඩ්‍රෝන් එක හැදිලා තියෙන විදිය ගැන, ඒකේ මූලික ක්‍රියාකාරීත්වය ගැන, ඩ්‍රෝන් එකේ ඇප් එකෙන් සිදුවෙන දේ ගැන වගේම අපේ රටේ පවතින නීතිය යටතේ ඩ්‍රෝන් යවන්න පුළුවන් ආකාරය සහ මූලික ආචාරධර්ම ගැන ප්‍රමාණවත් තරම් කරුණු ඒ දරුවන්ට කියලා දෙන්න එදා අපිට හැකියාව ලැබුණා. ඒ වගේම එදා වැඩමුළුවට සම්බන්ධ වුන ළමයි 37දෙනාටම ඩ්‍රෝන් යවන්න, එක එක විදියට ඒක කොන්ට්‍රෝල් කරන්න, ඩ්‍රෝන් කැමරා එකෙන් ෆොටෝ/වීඩියෝ ගන්න විදිය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන්නත් අපිට පුළුවන් උනා. සාමාන්‍යයෙන් එක ළමයෙක්ට විනාඩි 10ක විතර Flying time එකක් ලැබුණා. සිහින මල්ලිට අනුව ඒක බොහොම ලොකු වෙලාවක්. මේ සම්පූර්ණ වැඩසටහනට අපි පාවිච්චි කෙරුවේ DJI Phantom වර්ගයේ ඩ්‍රෝන් හතරක්. ඒ වගේම චම්මික හදපු කස්ටම් මේඩ් ඩ්‍රෝන් එකත් මේ වැඩේ සාර්ථක කරගන්න අපිට බොහෝම උදව් උනා.

කන්තලේ ළමයි ඩ්‍රෝන් යවන්න සූදානමින්

ඩ්‍රෝන් යවන කන්තලේ ගෑණු ළමයි

අපේ මූලිකම අරමුණ උනේ ළමයින්ට ඩ්‍රෝන් කියන්නේ මැජික් එකක් නෙමේ කියන දේ පෙන්නලා ඒ අත්දැකීම ලබා දෙන්න. ඈතින් ඉඳන් ඩ්‍රෝන් යවන විදිය බලාගෙන හිටිය ළමයින්ට ඩ්‍රෝන් එකක් උඩ යවන්න, කොන්ට්‍රෝල් කරන්න, ඒකෙන් වැඩ කරන්න කියලා එයාලට ඒක කරන්න දෙන්න. ඒ අරමුණ නම් ඉහටත් උඩින් සම්පූර්ණ උනා.

ඇත්තම කතාව මේකයි. ඒ ළමයි තියා ගුරුවරුන්වත් හිතුවේ නැහැ එදා දවසෙදි ඒ ළමයින්ට ඩ්‍රෝන් එක්ක වැඩ කරන්න ඒ වගේ අවස්ථාවක් ලැබෙයි කියන එක. ඒ හැම ළමයම ඩ්‍රෝන් එකක් ජීවිතේ පළවෙනි වතාවට අතින් ඇල්ලුවේ එදා. ඩ්‍රෝන් එකක් කොන්ට්‍රෝල් කරද්දි ඒ ළමයින්ගේ විතරක් නෙමේ ගුරුවරුන්ගේ පවා ඇස්වල තිබ්බ දීප්තිය, මුහුණෙන් පිටවෙන හැඟීම් විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ හැමෝම එදා ගෙවුන පැය කීපයේදී ගත්ත අත්දැකීම නම් මහ මෙරකට වඩා විශාලයි.

කණ්ඩායම් දෙකක ළමයි

කණ්ඩායම් හතරෙන් තුනක් එකම ඡායාරූපයක


සමහරවිට කෙනෙක් අහන්න පුළුවනි, කෝ ඉතිං ඔය කෙරුව වැඩෙන් ඇති වැඩේ මොකක්ද? ඔයාලා ඩ්‍රෝන් ටික ආයේ අරගෙන ආවම ඒ ළමයින්ට ඉතුරුවෙන දෙයක් නැහැ නේද කියලා. එක අතකට ඒක සාධාරණ තර්කයක් තමයි. හැබැයි මට මෙහෙමත් හිතෙනවා. නිකං හිතන්නකෝ ජීවිතේට විනෝද චාරිකාවක් ගිහිං නැති ළමයි කණ්ඩායමක්ව අපි විනෝද චාරිකාවක් එක්කගෙන ගියා කියලා. ඒ චාරිකාව ඉවර උනත් ඒ අත්දැකීමේ මිහිර ඒ ළමයිගේ ජීවිතවල හැමදාම තියෙයි. මේකත් මට හිතෙන විදියට ඒ වගේ දෙයක්. ඒකම මදැයි වැඩේ කරපු අපේ හිත් හදාගන්න.

වැඩේට පාවිච්චි කරපු ඩ්‍රෝන් සහ අනිත් උපාංග


ෆොටෝ ටික වැඩේ යන අතරවාරේ එහෙන් මෙහෙන් මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ඒවා. අග්‍රබෝධි විද්‍යාලයේ ඡායාරූප ඒකකයෙන් වැඩේ ගැන සම්පූර්ණ ෆොටෝ ඇල්බම් එකක් ලඟදීම අප්ලෝඩ් කරාවි.

වැඩමුළුවේ සම්පත් දායකයන් අදාළ උපකරණ එක්ක

2 comments:

  1. ඇත්තෙන්ම සන්තෝසයි. මේ අත්දැකීම් වැදගත්. ඒ ළමයි දෙයක් ඔලුව⁣ට දාගනී. කවද හරි ඔතනින් ළමයෙක් හොඳම ඩ්‍රෝන් එක හදන්නත් ඉඩ තියනවා.

    ReplyDelete