Tuesday, July 11, 2017

ඩෙංගු, පරිපූරක ඇස්තමේන්තු සහ යහපාලනය!



මේ එල්ලා ඇති ඡායාරූපයේ දකුණු පස තිබෙන්නේ පසුගිය ජූනි 28 වෙනිදා මීගමුව මූලික රෝහලේ දර්ශනයක් ය. ඡායාරූපයේ මැද ඉන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාය. එතුමාගේ වම්පසින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ය. මීගමුව රෝහලේ වාට්ටුවක එකම ඇඳේ දෙපැත්තට පොඩි ළමයි දෙන්නෙක් නිදාගෙන ඉන්නේ ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී ඉතිරී ගොස් ඇති නිසාය. එක ඇඳක ලෙඩුන් දෙදෙනෙක් නොව ඇඳන් යට, රෝහල් බංකු මත සහ රෝහලේ කොරිඩෝර්වලද පැදුරු එලාගෙන, රෙදි එළාගෙන ලෙඩුන් සිටි ආකාරය අපි දැක්කේය. ඒ ඩෙංගු නිසා අපේ රටේ අපේ මිනිස්සු දුක් විඳින විදිය ය. 

ඡායාරූපයේ දකුණුපැත්තේ තියෙන්නේ පහුගිය ජූලි 08වෙනි සෙනසුරාදා දවසේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළවෙච්ච ප්‍රවෘත්තියක් ය. එයට අනුව ඇමතිවරු කීපදෙනෙකුට වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 20ක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉඳිරිපත් කර ඇත්තේය. මේ වාර්ථාවට අනුව සමහර ඇමතිලාගේ නිවාස "අලුත්වැඩියාවට" ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි 2කට අධිකය. සරළවම කියනවානං, මේ අපේ රටේ පාලක පැලැන්තිය මේ වෙලාවේ හැසිරෙන ආකාරය ය.

මිනිස්සු දහස් ගණන් මුදල් ගෙවා පෞද්ගලික රෝහල්වලින්, රුධිර පර්යේෂනාගාරවලින් රුධිර පරික්ෂා, ඩෙංගු පරික්ෂා කරගන්නේ රජයේ රෝහල්වල ඒ පරික්ෂාවන් කරන්නට ප්‍රමාණවත් තරම් පහසුකම් නැති නිසා ය. මිනිස්සු ස්වේච්ඡාවෙන් එක් රැස් වී මුදල් සම්මාදම් කර රජයේ රෝහල්වල වාට්ටුවලට මදුරු දැල් මිලදී ගෙන දෙන්නේ, වෙනත් වෛද්‍ය උපකරණ මිලදී ගෙන දෙන්නේ රජයට තමන්ගේ මහජනතාව වෙනුවෙන් කරන්නට අවශ්‍ය ඒ වගකීම නිසිපරිදි ඉටු කරන්නට නොහැකි නිසා ය. මිනිස්සු තමන්ගේ පෞද්ගලික ධනයෙන් පොදු ස්ථානවල ශ්‍රමදාන/දුමායන කටයුතු සිදුකරන්නේ රජයෙන් ඒ සඳහා ප්‍රමාණවත් තරම් අරමුදල් නොලැබෙන නිසාය. රටේ පොදු මහජනතාව වෙනුවෙන් වසංගත අවස්ථාවකදීවත් වෙන් කරන්නට රජයට ප්‍රමාණවත් තරම් මුදල් නැත්තේය. රජය වියදම් කරන්නේ නැත්තේ ඒ නිසාය.

නමුත් ඇමතිවරු දෙදෙනෙකුට, නියෝජ්‍ය ඇමතිවරයෙකුට, ආණ්ඩුකාරවරයෙකුට තවත් කීපදෙනෙකුට කෝටි ගණන් වටිනා වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට ඇති පදම් මුදල් තියෙන්නේය. ඇමතිවරුන්ට මේ වාහන අරගෙන දෙන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන පර්මිට් එකට අමතරව බව යළිත් අපි මතක් කරගත යුතුමය. සරළවම පවසනවා නම් පාලක පැලැන්තියට වාහන අරගෙන දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා ය.

මීගමුව රෝහලේදී "ඔබතුමන්ලාට අවශ්‍ය සියළු පහසුකම් අපි කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා" යැයි ජනාධිපතිතුමා පවසා ඇත්තේය. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස්ද එතුමා දෙන්නට ඇත්තේය. හැබැයි මීගමුව ඩෙංගු වාට්ටුවේ සහ රටේ රජයේ රෝහල් සියල්ලකම පාහේ අදටත් තත්ත්වය ජූනි 28වෙනිදා තිබූ තත්ත්වයමය. ඒකේ කිසිම වෙනසක් නැත්තේය. ඊට හරියටම සුමානයකට පස්සේ රුපියල් කෝටි 20ක් ඇමතිලාගේ පරිභෝජනයට වෙන් කරන්නේද ඒ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවය.

ඒ රුපියල් කෝටි 20න් වාට්ටු කීයක් හදන්න පුළුවනිද, වාට්ටු කීයකට ඇඳන් දෙන්න පුළුවනිද, පරික්ෂා කටයුතුවලට අවශ්‍ය උපකරණ දෙන්න පුළුවනිද, ශ්‍රමදාන/දුමායන කටයුතුවලට අනුග්‍රාහකත්වය ලබාදෙන්න පුළුවනිද කියා මම කියන්න යන්නේ නැහැ ය. කියලා වැඩකුත් නැත්තේය.

මිත්‍රවරුණි, විප්ලවය සිදුකළ යුත්තේ මෙවන් කාළකණ්ණි පාලක පැලැන්තියෙන් ජනතාව මුදාගැනීම සඳහා ය!!!

No comments:

Post a Comment