Wednesday, July 26, 2017

සිපෙට්කෝ වර්ජනය - යහපාලනය සහ අපි!


හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව රජය යටතේ පවත්වාගෙන යැම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක්‌ සම්බන්ධයෙන් ඛණිජතෙල් සංස්ථා සේවකයන් විසින් ආරම්භ කළ වර්ජනය අද මේ මොහොතේදීත් ක්‍රියාත්මකය. එමෙන්ම ඒ වර්ජනයට ප්‍රතිචාර වශයෙන් රජයද මේ මොහොතේදී ඛනිජ තෙල් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්කර කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තයන් හමුදා භාරයට ගෙන ඇත්තේ ය. සිපෙට්කෝ සේවකයන්ගේ මේ සටන කුමක් සඳහා ද? 
මේ වෑයම ඛණිජතෙල් සේවකයන්ගේ වර්ජනය පිළිබඳව මගේ සතපහ ඔබට කියන්නට ය.

ඛණිජතෙල් පොදු සේවක සංගමය මේ වර්ජනය කැඳවන්නේ තමන්ගේ වැටුප් හෝ දීමනා වැඩිකරගැනීමක් වෙනුවෙන් නොවේ ය. එමෙන්ම තමන්ට ලැබීමට නියමිත වරප්‍රසාද හෝ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන්ද නොවේ ය. පැහැදිලිවම ඔවුන්ගේ ඉල්ලීම එකම දෙයක් ය. රටේ සම්පත් වෙන රටවලට විකුණා දැමීම සිදු නොකිරීම ඒ එකම ඉල්ලීම ය.

එජාප රජයයන් විසින් 1978 සිට සිදුකරන ලද ඊනියා පෞද්ගලීකරණයන් ගැන මීට ඉහතදීත් මවිසින් ඇති පදම් ලියා ඇත්තේ ය. ඒ කිසිම පෞද්ගලීකරණයකින් රටට හෝ රටේ ජනතාවට සිදුවූ සේවයක් හෝ ලැබුණ ප්‍රතිලාභයක් හෝ නැත්තේය. සිදුවුනේ එජාප නායකයන්ගේ සහ උන්ගේ ගජමිතුරු තක්කඩි කල්ලියේ මඩිය තරවීම පමණක් ය. ඊනියා සංවර්ධනය මුවාවෙන් එන මඩි තර කරගැනීම එකම අරමුණ කරගත් පෞද්ගලීකරණය ගැන කතා කරන්නවත් එපා ය. කොටින්ම මේ පරගැති #යහපාලන ආණ්ඩුව තිබෙන තුරු පෞද්ගලීකරණය ගැන හිතන්නවත් එපා ය.

2003දීද සිපෙට්කෝවෙන් විශාල කොටසක් Indian Oil Company හෙවත් IOC වෙත පෞද්ගලීකරණයේ නාමයෙන් පවරා දුන් අයුරු අපිට මතකය. රටේ හොඳම ඉන්ධන පිරවුම්හල් 100කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවට පිදුව හැටි අපිට මතකය. සිපෙට්කෝවේ ආදායම අඩුකිරීමට සහ සිපෙට්කෝව පාඩු ලබන ආයතනයක් බවට පෙන්වීමට උං ඒ කාලයේ ක්‍රියා කරපු ආකාරය අපිට හොඳටම මතකය.

සිපෙට්කෝවේ විධායක ශ්‍රේණියක රැකියාව කරන මගේ හිතවතෙකු පැවසූ ආකාරයට, එකී 2003 ගිවිසුම හේතුවෙන් මේ රටේ සිපෙට්කෝ පිරවුම්හල්වලින් පවා අළෙවිවන ඕනෑම ඉන්ධන ලීටරයක ආදායමෙන් 1/3ක් IOCයට ලැබෙන්නේ ය. සිපෙට්කෝවේ දෛනික ඉන්ධන අලෙවිය සහ තවත් බොහෝ වැදගත් ව්‍යාපාරික තොරතුරු ඔවුන්ගේ අභ්‍යන්ත පරිගණක පද්ධතිය හරහාම IOCයට ලබා ගත හැකි ය. මේ සිපෙට්කෝවේ රැකියා කරන්නන් පවසන දේ ය. මේවා සාමාන්‍ය සමාජයේ අපි දන්නේ නැති ය. නමුත් පාවාදීමේ තරම පැහැදිලි කරගන්නට මෙය හොඳටම ප්‍රමාණවත් බව මගේ කියවීම ය.

සිපෙට්කෝ සේවකයින් මේ සටනට බැස්සේ රටේ වටිනාම ආයතනයක මළගමට එරෙහිව ය. මේ වැඩවර්ජනය හේතුවෙන් පෞද්ගලිකව මම ද බොහෝ දුෂ්කරතාවයන්ට මේ මොහොතේදීත් මුහුණ දී සිටින්නේ ය. නමුත්, මේ මොහොතේ ගෙවනා සැපවත් ජීවිතයකට වඩා රටේ අනාගතය මට වටින්නේ ය. රටේ ආයතනවල පැවැත්ම මට වටින්නේ ය.

වර්ථමාන දුර්දාන්ත #යහපාලන රජය විසින් සිදුකරන සිපෙට්කෝව වැනසීම නැවැත්වීම වෙනුවෙන් තමන්ට කළහැකි ඉහළම දේ මේ මොහොතේදී සිපෙට්කෝ සේවකයන් සිදුකරනවා ය. උං සටන් වදින්නේ තමන් වෙනුවෙන් නොව රටේ අනාගතය වෙනුවෙන් ය. අපේ වගකීම මේ මොහොතේදී උං තනි නොකිරීමය.

සිපෙට්කෝ සේවක සහෘදයිනි, නුඹලාගේ මේ සටන ජයග්‍රාහීව අවසන් කරන තුරු අපි නුඹලා අතහරින්නේ නැති ය. රටේ හෙට දවස වෙනුවෙන් මේ සටන ජයගන්නට නුඹලාට යෝධබල යෝධ වීරිය ලැබේවායි අපේ එකම ප්‍රාර්ථනාවය.

සිපෙට්කෝ සටනට ජයවේවා!!!

No comments:

Post a Comment