Wednesday, September 13, 2017

සිංහල සබ්ටයිටල්



සිංහල සබ්ටයිටල් සහ ඒවගේ කොලිටි එක ගැන බොහෝ දෙනා බොහෝ තැන්වල බොහෝ කතන්දර කියනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ගැන මගේ සත පහ.

ඉංග්‍රීසි, හින්දි, දෙමළ හෝ වෙන ඕනෙම භාෂාවක ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දෙන එක ලේසි වැඩක් නෙමේ. තාක්ෂණිකව ගත්තත් ඒක මහ එපා වෙන, ඉතාම ඉක්මනින් කරන කෙනා අධෛර්යමත් වෙන, පොඩ්ඩ ගැස්සුනොත් වැඩේ ආයේ කෙළවරක ඉඳං පටන් ගන්න වෙන වැඩක්. ඒ වගේම මොනතරම් මැරිලා සිංහල සබ්ටයිටල් දුන්නත් ඒකෙන් තමන්ට ලැබෙන සතේක ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ඒ වැඩේ තනිකරම කරන්නේ තමන්ගේ හිතේ සන්තෝසේ වෙනුවෙන්. කොටින්ම කියනවනං,අද අපේ රටේ ඉන්න අතිබහුතරයක් සිංහල සබ්ටයිටල් හදන කොල්ලෝ කෙල්ලෝ කරන්නේ අතිං කාලා හරක් බැලිල්ලක්. 

ඕකේම තවත් පැත්තකුත් තියෙනවා.
ඒ තමයි සිංහල සබ්ටයිටල් එකක් හැදුවම අහන්න වෙන කතන්දර ටික. සමහර අය බොහෝම උවමනාවෙන් කැපවීමෙන් සබ්ටයිටල් හදනවා. තවත් සමහර අය ෆිල්ම් එක එකපාරක්වත් බලන්නේ නැතුවත් ඉංග්‍රීසි සබ්ටයිටල් ෆයිල් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා සිංහල සබ් ෆයිල් එක හදනවා. සිංහල සබ්ටයිටල්වලට තියෙන චෝදනා අතිශය බහුතරේකට මූලිකම හේතුව මම ඔය දෙවෙනියට සඳහන් කරපු කණ්ඩායමේ ක්‍රියාකාරකම්. සරළම කතාව මෙච්චරයි, සබ්ටයිටල් දෙන්න කළිං ඒ ෆිල්ම් එකේ ජීවත් වෙන්න ඕනේ. හැම සිදුවීමක්ම විඳින්න ඕනේ. ඒ වගේම ෆිල්ම් එක ගැන ක්‍රමවත් අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට තමයි පරිවර්ථනය කරන එක හරියට එන්නේ. ඉංග්‍රීසි වචන ටික ඒ අර්ථයෙන්ම පරිවර්ථනය කරන්න ගියාමත් හරි තේරුම එන්නේ නැහැ. පරිවර්ථනය කරන කෙනා ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. නිකංම සබ්ටයිටල් ෆයිල් එක දිග ඇරගෙන පරිවර්ථනය කරගෙන කරගෙන යන්න ගියාම ලොකු වැරදි සිදුවෙනවා. ඒක අපරාධයක්. පරිවර්ථනය කරන කෙනා තමන්ටම කරගන්න අපරාධයක්. පැය දෙකක ෆිල්ම් එකක සබ්ටයිටල් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. නමුත් මේ වගේ වැරදි නිසා ඒ කැපකිරීමේ වටිනාකම ඒ පුද්ගලයා විසින්ම 0ටම දමාගන්නවා.

මෙහෙම හිතන්න. ෆිල්ම්වලට සිංහල සබ්ටයිටල් දෙන්න ආස 10දෙනෙක් එක්කහු වෙලා ගෲප් එකක් හදාගෙන වැඩේ කරගෙන යනවා. මේ සෙට් එකේ 8දෙනෙක්ම ඉතාම කැපවීමෙන් මහන්සියෙන් සබ්ටයිටල් හදන අය. අනිත් දෙන්නා කරන්නං වාලේ වැඩ කරන අය. නරකම වැඩේ වෙන්නේ, ඒ නොසැළකිළිමත් දෙන්නාගේ අඩුපාඩු නිසා සමස්ථ කණ්ඩායමේම වැඩේ ගැන තියෙන මහජන විශ්වාසය නැතිවෙන එක. ඔය උඩින් අමුණලා තියෙන ෆොටෝ එකත් ඒ වගේ නොසැළකිළිමත්කමෙන් යුතු කෙනෙක් අතින් සිදුවෙච්ච වැරැද්දක්. ඒ වැරැද්ද කරපු පුද්ගලයා මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ සමස්ථ මහන්සියම එක වාක්‍යයක් නිසා අපතේ ගිහින් තියෙන හැටි ඉතාම ශෝචනීයයි. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් විය යුතුයි. ඒක වෙනස් කරන්න පුළුවනුත් සිංහලෙන් සබ්ටයිටල් හදන අයට විතරමයි. 

දැං කෙනෙක් අහන්න පුළුවන්, "ඉතිං මෙච්චර පොර ටෝක් දෙන එකේ උඹත් සිංහල සබ්ටයිටල් එකක් හරි හදපංකෝ" කියලා. ෆිල්ම් එකක් දෙතුන්පාරක් බලන්න, ඒ ෆිල්ම් එකේ හැම දෙබසක් ඇතුළෙම ජීවත් වෙන්න, ෆිල්ම් එක ගැන අධ්‍යයනයක් කරලා ලොකු අවබෝධයක් ලබාගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මට එහෙම කැපකිරීමක් කරන්න බැහැ. ඒ නිසා මම සිංහල සබ්ටයිටල් හදන්නේ නැහැ!

No comments:

Post a Comment