Sunday, February 12, 2017

විප්ලවය ඇරඹිය යුත්තේ මේවා වෙනස් කිරීමටය!!!



මොණරාගල දිස්ත්‍රික්කයේ පස්සර, කොටමුදුන ගමේ උපන් සෞම්‍යා උදේශිකා දැරියගේ උසස් පෙළ ප්‍රතිඵල සහ ඉන් අනතුරුව සිදුවු දේ දැන් රටම දන්න පුවතක් වී හමාරය. අවුරුදු 5කට පසු ඒ ගමෙන් ඒ පාසලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ එකම සිසුවියට, අද විශ්ව විද්‍යාල ප්‍රවේශය නැතිව තිබෙන්නේ තාක්ෂණික කාරණාවක් නිසාය. 

ජපානයේ හොක්කයිඩෝ හි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වූ කානා හරාඩාගේ අධ්‍යාපනය අවසන් කරන තෙක් ඇයගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් "පමණක්" දිනකට මිනිත්තු 35ක දුරක් ධාවනය කරවූ දුම්රියක් ගැන විස්තරයක් මේ දිනවල සිංහල ෆේස්බුක් අවකාශය පුරා ප්‍රචාරය වෙන්නේ ය. ඒ ජපානයේ හැටිය. ජපානයේ බලධාරීන් අධ්‍යාපනය ලබනා ශිෂ්‍ය ප්‍රජාව දෙස බලනා හැටිය. 

තාක්ෂණික නොහැකියාව නිසා තමන්ට සිදුවූ අසාධාරණය ගැන පැමිණිලි කරන්නට UGCයට ගිය ආර්. එම්. සෞම්‍යා උදේශිකා ශිෂ්‍යාවට බලධාරීන් දෙන පිළිතුර වූයේ "ඔයා ආයේ පාරක් ඒලෙවල් කරලා පාස්වෙලා එන්න" කියලා ය. ඒ මේ රටේ බලධාරීන් අධ්‍යාපනය ලබනා ශිෂ්‍ය ප්‍රජාව දෙස බලනා හැටිය. පස්සර කොටමුදුනට හෝ ඒ අහල ගම් හතකටවත් ඉන්ටර්නෙට් තියෙනවාද, ඉන්ටර්නෙට් තිබ්බත් රෙජිස්ටර් වෙන්න අවශ්‍ය පියවර ටික පහුකරන්න තරම් තාක්ෂණික දැනීම ඒ ඈයොන්ට තියෙනවාද යන සමාජීය ගැටළු මේ රටේ බලධාරීන්ට අදාළම නැත්තේ ය. රෙජිස්ටර් නැත්තං ආයේ ඒ ලෙවල් කරලා එන්න ඕනේ ය. මෙහේ හැටි එහෙම ය.

ලෝක උරුමයක් ගැන "නොදන්නාකම නිසා" සීගිරි කැටපත් පවුරේ හැට්ට කට්ටකින් නම කුරුටු ගෑ මඩකළපුවේ දෙමළ තරුණියට, ඒ වරද හේතුවෙන් උසාවියෙන් ලබා දුන් දඬුවමට සමාව ලබා දී ඇයගේ නොදන්නාකමට සාධාරණයක් #යහපාලන ජනාධිපතිතුමා ඉටු කළේ ගිය අවුරුද්දේ ය.
"තාක්ෂණයේ නොදන්නාකම" නිසා උසස් අධ්‍යාපනයේ අයිතිය අහිමිවීමේ අවධානමේ සිටින පස්සර, කොටමුදුනේ ආර්. එම්. සෞම්‍යා උදේශිකා වෙතද #යහපාලන ජනාධිපතිතුමාගේ කරුණාබර අවධානය යොමුවේදැයි අප බලා සිටින්නේ ය. ඒ වගේම ඇයට "ආයේ ඒලෙවල් කරලා පාස් වෙලා එන්න"යි කියූ UGCයේ මුග්ධයන් වෙත එතුමා ප්‍රතිචාර දක්වන්නේ කෙළෙසදැයි කියා ද අප විමසිල්ලෙන් බලා සිටින්නේ ය.

ආර්. එම්. සෞම්‍යා උදේශිකාට සාධාරණය ඉටුවෙන්නේ නැතිනම්, මිත්‍රවරුණි - අපි විප්ලවය ඇරඹිය යුතුවන්නේ මේවා වෙනස් කිරීම වෙනුවෙන්ය!!!

No comments:

Post a Comment