Thursday, February 16, 2017

මේ වංචාව ගැන ඔබත් දැනුවත් ද?



පහුගිය දවසක මගේ බොහොම ළඟ මිත්‍රයෙක්ට තැපෑලෙන් ලැබෙනවා ලිපියක්. ලිපි ශීර්ෂයේ සඳහන් වෙන්නේ General Motors (Pvt) Ltd, ගාළු පාර, වැල්ලවත්ත ලෙසට. ඒ ලිපියේ සඳහන් වෙන ආකාරයට මගේ මිත්‍රයා රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කරපු මෝටර්ක්‍රොස් තරඟෙකට සමගාමීව දිනුම් ඇදපු ලොතරැයියකින් ත්‍රී රෝද රථයක් ජයග්‍රහණය කරලා තියෙනවා. අදාළ ලියාපදිංචි ගාස්තු සහ රක්ෂණ ගාස්තු ගෙවලා වාහනය රැගෙන යන ලෙස තමයි ලිපියේ කරුණු සටහන් වෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා අමතන්න දුරකථන අංක 4ක්ද සඳහන් වෙනවා.

මගේ මිත්‍රයා මේ ගැන විමසන්න ඒ අංකයකට කෝල් එකක් ගන්නවා. ආන්සර් කරන්නේ කාන්තාවක්. ඇය රණවිරු සේවා අධිකාරියේ ජෙනරල් ලයින් එකට කතා කරාම අපිට අහන්න ලැබෙන පොදු වචන මාළාවම භාවිතා කරමින් කතා කරනවා. මේ සිද්ධිය ගැන ඇයගෙන් ඇහුවම දෙන උත්තරේ වෙලා තියෙන්නේ "ඒ අදාළ නිලධාරී මහතා සීට් එකේ නැහැ. එයා ආවම දැනුම් දෙන්නම්" කියන එක. මගේ මිත්‍රයාත් එකඟවෙලා කෝල් එක කට් කරලා ඉන්නවා.

මගේ මිත්‍රයාට එදාම හවස 2ට විතර ඇමතුමක් එනවා මේ සිදුවීමටම සම්බන්ධව. කතා කරන්නේ බ්‍රිගේඩියර් වීරක්කොඩි නමින් හඳුන්වාදෙන පුද්ගලයෙක්. ඔහු මගේ මිත්‍රයාට තදින් කතාකරන්නේ මෙතරම් දවසක් මේ ත්‍යාගය ලබාගන්න නොපැමිණියේ ඇයි කියන කරුණට. කරුණාකර ඒ ත්‍යාගය ලබාගන්න, නැතිනම් ඊලඟ කෙනාට ඒ ත්‍යාගය ලබා දෙන බව ඔහු පවසා සිටිනවා. 2017-02-13 දා (ගිය සඳුදා) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ තෑගි ලබාදීම සිදුකරන බවටත්, ඊට පෙර ලියාපදිංචිය සිදුකරගත යුතු බවටත් ඔහු පවසනවා. ලියාපදිංචිය සහ රක්ෂණ ගාස්තුව ලෙස රුපියල් 41,000.00ක මුදලක් බැංකු ගතකරන ලෙස ඒ පුද්ගලයා මගේ මිත්‍රයාට දැනුම් දෙනවා. ඒ සඳහා බැංකු ගිණුම් අංකයක්ද ඒ පුද්ගලයා ලබා දෙනවා.

මේ ගැන ඇතිවෙන සැකය නිසාම මගේ මිත්‍රයා, මම සහ තවත් අපේ හිතවතෙක් විදියට තුන් දෙනෙක් රණවිරු සේවා අධිකාරියට දුරකථන ඇමතුම් ලබා දී මේ ගැන විමසනවා. අපි තුන්දෙනාටම ලැබෙන්නේ එකම පිළිතුර. එහෙම ත්‍යාග ලබාදීමක් හෝ මෝටර්ක්‍රොස් තරඟාවලියක් හෝ ලොතරැයියක් ගැන රණවිරු සේවා අධිකාරිය දන්නේවත් නැහැ.

කාරණාව පැහැදිලියි. මේ බොහෝම සැළසුම් සහගත විදියට ක්‍රියාත්මක වෙන අලුත්ම මගඩියක්!!! රටේ ජනාධිපතිගේ, ත්‍රිවිධ හමුදාවේ, රණවිරු සේවා අධිකාරියේ නම විකුණලා ක්‍රියාත්මක වෙන මහා වංචාවක්. මේ වංචාව ගැන රණවිරු සේවා අධිකාරියත් දැනුවත් බවයි එහෙන් කරපු විමසීමේදී කිව්වේ. ඒ වගේම මේ ගැන පැමිණිල්ලක් CID එකට කරපු බවත් රණවිරු සේවා අධිකාරිය පාර්ෂවයෙන් දැනුම් දුන්නා.

මේ සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ගැන හරි අදහසක් නැහැ. ඒවා නියමිත පරිදි සිදුවෙනවානම් හොඳයි. නමුත් වැදගත්ම දේ, මේ වගේ මගඩි සිදුවෙන බව රටේ ජනතාව දැනගත යුතුමයි. සමහර විට ඔබ දන්න කියන කෙනෙකුටත් නුදුරු අනාගතයේදී මේ වගේ ලිපියක් ලැබෙන්නට ඉතා විශාල ඉඩක් තියෙන්නට පුළුවනි. මේ වගේ දහදුරා වැඩවලින් එක්කෙනෙක්ව හරි බේරගන්න ඉඩක් තියෙනවානං, ඒ ඉඩ වෙනුවෙන් තමයි මේ සටහන...

මේ සිද්ධිය ගැන තවත් බොහෝ තොරතුරු තියෙනවා. මීට වඩා පුළුල් මහජන දැනුවත් කිරීමක් සඳහා හෝ අදාළ නීතිමය කටයුතු සඳහා කවුරු හරි කෙනෙක්ට ඒවා අවශ්‍යනම් ලබාදෙන්න පුළුවන්.

No comments:

Post a Comment