Tuesday, June 13, 2017

වැඩ කරන ජනතාවට මීට වඩා පහසුකම් දිය යුතුමය!!!



මේ ඡායාරූපය මවිසින් ගන්නා ලද්දේ අද උදෑසන 8.15ට පමණ කොළඹ 07, කොළඹ නගර සභා පුස්තකාලය අසළ බස් නැවතුමේ සිටය. මේ වනාහි තමන්ට ඉහිලුම් නොදෙන තරම් සෙනඟක් පටවාගෙන කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා ධාවනය වෙන මාර්ග අංක 177 බස් රථයක්ය. මේ බස් රථයේ පිරී ඉතිරී එල්ලී සිටින්නේ මේ රටේ "වැඩකරන ජනතාව" ය. 

බොහෝ දෙනා දැක දැකත් නොදැක්කා සේ හිටියාට, කතා නොකෙරුවාට මේ රටේ හැම උදෑසනකම, සවසකම, අගනගරයේ හෝ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාවල අත්දකින්නට ලැබෙන තිත්තම තිත්ත ඇත්ත මේකය. උදේට රස්සාවට එන හවසට ගෙදර යන රජයේ/පෞද්ගලික අංශයේ සේවකයන් සාතිශය බහුතරයක් දවසට අවම වශයෙන් පැය දෙකක් තපින්නේ මේ ආකාරයේ ලොරි චැසියට බස් බොඩි ගැසූ මිහිපිට අපායවල්වල ය. උදේට හවසට ට්‍රැෆික් එකේ විඳිනා මේ දුක සමාන වන්නේ හතර අපායක විඳිනා දුකකටමය යනු මගේ කියවීමය.
රටේ සිටිනා ඇමතිවරු හතළිහකට අධික පිරිසකට වාහන මිලදී ගැනීම සඳහා පසුගිය මාස 6ක කාලයේදී වෙන්කෙරුව මුදල රුපියල් කෝටි 150කට ආසන්නය. ඒවා මිලියන වලින් ගත්තොත් 1500ක් ය. මේ වාහන ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්මිට් එකට පරිබාහිරව බවද මතක තියාගත යුතු ය. මයික්‍රෝ සමාගමෙන් ගෙන්නලා විකුණන ආසන 45 සුඛෝපභෝගීම බස් එකක ගාණත් යන්තම් මිලියන 15ක් ය. මේ ඇමතිවරු වෙනුවෙන් වෙන් කරපු සල්ලිවලින් AC බස් 100ක් මේ රටේ සාමාන්‍ය "වැඩ කරන මිනිස්සු" වෙනුවෙන් වෙන් කරන්න තිබුණේ ය.

කාළකණ්ණි පාලකයිනි,
තොපි ගහන ඕනෙම බද්දක් කට පියාගෙන ගෙවන්නේ මේ රටේ වැඩකරන ජනතාව ය. තොපිව නඩත්තු කරන්නේත් මේ රටේ වැඩකරන ජනතාව ය. කන හාල් ඇටෙන්, බොන කහට උගුරෙන්, ගන්න කෝල් එකෙනුත් තොපිට අම්බානකටත් ටිකක් වැඩියෙන් බදු ගෙවන්නේ මේ රටේ වැඩකරන ජනතාව ය. එහෙව් වැඩකරන ජනතාවට රස්සාවට යන එන කාලය හෝ පහසුවෙන් ගතකරන්න ලබා දෙන එක තොපේ පරම යුතුකමක් ය. තොපි එහෙම නොකරන්නේ නම් ඒ පව තොපි කන බත් ඇටයක් ගානේ තොපිට ආපසු වදිනවා ය.

මිත්‍රවරුණි, විප්ලවය ඇරඹිය යුත්තේ මේ අසාධාරණයට විරුද්ධවය!!!

No comments:

Post a Comment