Thursday, June 22, 2017

අන්තරේ ළමයින් වෙත කරුණාවෙන්....



රජයේ අමාත්‍යංශයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පරිපාලනයට බාධා කරනවිට රජයේ හමුදාවන් හෝ පොලීසිය පැමිණ ඔබට ධර්මය දේශනා කර සාමකාමීව ඔබව එයින් ඉවත් කරාවියි කියා ඔබ හිතනවානම්, මට කියන්නට තියෙන එකම දෙය වන්නේ කරුණාකර සිහිනෙන් අවදිවෙන්න ළමයිනේ කියා ය. මේ රටේ හෝ මේ ලෝකේ කිසිම තැනකදී එහෙම වෙන්නේ නැත.

නුඹලා ඊයේ දවසේ සිදුකරනු ලැබූ ක්‍රියාව අත්‍යන්තයෙන්ම වැරදි ය!!! ඒ ගැන කිසිම කතාවක් නැත. නුඹලා විසින් ඔය ඉතාම ක්‍රමානුකූලව සිදුකරනු ලබන්නේ නුඹලා පෙනී සිටින කරුණ වෙනුවෙන් ඇති ජනතා සහය නැතිකරගැනීම පමණකි. පොදු මහ ජනතාවගේ සහයකින් තොරව පොදු සටන් ජයග්‍රහණය කළ නොහැකි බව නුඹලාට යළි මතක් කරමි. ඔය සටන් උපක්‍රමය මේ සටනේදී ඵලදායක වන්නේ නැත!!!

ඊයේ දවසේ ඒ සිදුවීමත් සමඟම අත්දකින්නට ලැබුණ අනිත් ජුගුප්සාජනකම කරුණ වන්නේ මීට වසර තුනකට හතරකට පෙර, නුඹලාගේ උද්ගෝෂණවලට පොලිස් ප්‍රහාර එල්ලවීමේදී ෆේස්බුක් අවකාශය පුරා කඳුළු වගුරවමින් හඬා වැළපුණු සහ ඒ දේවල් හුවා දක්වමින් #යහපාලනයක් ගෙන එන්නට කැපවුනු හොරිකඩ තුප්පහි අමන හැතිකරේ වර්ථමාන ක්‍රියාකාරීත්වයයි. නුඹලාට පහර දුන් පොලිස් නිලධාරීන්ට වඩා සතුටක් ඔවුන් ඒ පහරදීමේ ඡායාරූප/වීඩියෝ හරහා ලබනා වග ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් පිළිබිඹු වෙන බව නුඹලාත් දකින්නට ඇතැයි සිතමි. උං සැබවින්ම නියෝජනය වෙන කඳවුර කුමක්දැයි නුඹලාට පැහැදිලි ඇතැයි සිතමි. ඊට එහා ඒ ගැන කතාකිරීමවත් අනවශ්‍ය බව මගේ අදහසයි...

නුඹලාගේ සයිටම් සටන සාධාරණ බව යළිත් කියමි. සටන සාධාරණ නමුත් සටන් ක්‍රමවේද අසාධාරණනම් ඒ සාධාරණ සටනෙන් ඵලක් නැතිබව යළිත් කියමි.

සයිටම් විරෝධී සටනේදී අපි තවමත් සිටින්නේ නුඹලාගේ කඳවුරේ බව කියමි. නමුත් නුඹලාගේ මේ ක්‍රියාකාරීත්වය නිසා නුඹලාට අපේ කුලකයේ බොහෝ දෙනෙකුගේ සහය ක්‍රම ක්‍රමයෙන් අහිමිවෙන බව පමණක් අවසාන වශයෙන් සඳහන් කරමි.

නුඹලාගේ සයිටම් විරෝධී සටන දිනේවා!!!

No comments:

Post a Comment