Tuesday, June 20, 2017

ඔබට සුබ උපන්දිනයක් වේවා | Wish You a Very Happy Birthday Sir



මගේ මතකය නිවැරදි නම්, මම ඔබ ගැන මුලින්ම දැනගන්නේ 2006 දෙසැම්බර් පළමුවැනිදා. ඒ කොල්ලුපිටිය පිත්තල හංදියේදී ඔබට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ විස්තරයත් සමඟයි. ඒ වෙද්දී ඔබ ඔබගේ ධූරයේ එනම් "ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්" ධූරයේ වැඩ භාරගෙන හරියටම අවුරුද්දක්. ප්‍රභාකරන් ආවට ගියාට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දේශපාලන ඉලක්ක වෙත එවන එකෙක් නෙමෙයි. නමුත් ඔබ වෙනුවෙන් ඔහු බෝම්බකරුවෙක් එවනවා. ඒ ඔහුගේ ගමනට ඔබ මහා බාධාවක් බව අවුරුද්දක් යද්දීම ඔහුට දැනුන නිසා යි. ඉන් එහාට 2009 මැයි 18 වෙනකම් කාලය අයිති වන්නේ ඉතිහාසයට යි. අවුරුදු 30ක් මේ රට වසාගෙන සිටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ ඒ වසර කීපය ගැන ඉතිහාසය හැමදාම සාක්ෂි දරයි.

 ඉන්පසුව මම යළිත් ඔබව දකින්නේ 2010දී "රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්" ලෙස යි. කිසිදා සුව නොවෙන තුවාලයක් විදියට අපි දැකපු කොළඹ නගරයේ පදික වේදිකා වෙළඳාමේ ගැටළුවට ඔබ මැදිහත්ව "ස්ථිර" විසඳුමක් ලබාදෙන විදිය මම දැක්කා. කොළඹ නගරයේ තිබුණ ගරා වැටුන ගොඩනැගිලි, පදික වේදිකා, උයන්වතු සහ තවත් බොහෝ තැන් නව පෙනුමක් ලබාගෙන, තිරිහන් වෙලා ජනීජනයා ගැවසෙන සහ සංචාරක ආකර්ශනය හිමිවෙන තැන් බවට පෙරලෙන ආකාරය මම දැක්කා. රටේ අග නගරය දැඩිව වෙළාගත් කුණු ප්‍රශ්නය ක්‍රම ක්‍රමයෙන් විසඳෙන ආකාරය මම දැක්කා. ගෝඨාභය කියන්නේ යුද්ධෙ විතරක් නෙමේ වෙන ඕනෑම වැඩක් දන්න, වැඩේ හරියට කරන පුද්ගලයෙක් බව ඔබ ක්‍රියාවෙන්ම ඔප්පු කරන ආකාරය මම හොඳින්ම දැක්කා.

විවිධාකාර පුද්ගලයන් විවිධාකාර අවකාශවල, වේදිකාවල ඔබට කරන චෝදනාත් මම දැක්කා. මිනී මෝරුන්, සුදු වෑන්, අතුරුදහන් කිරීම් පිළිබඳව චෝදනාවන් දහස් ගණනක් ඒ මේ අත පාවෙනු වසර ගණනාවක සිටම මම දැක්කා. අද ඔබ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නෙමේ. නිකංම නිකං ගෝඨාභය රාජපක්ෂ. නමුත් අදටත් ඔබට විරුද්ධව ඇති ඒ චෝදනා එකක්වත් ඔප්පුකරගන්නට ඒ චෝදනාකරුවන්ටවත් ඒ චෝදනා සමාජගත කළ පුඟුලන්ටවත් හැකිවී නැති බවත් මම දකිනවා. හෙටත්, තව අවුරුදු 10කිනුත් ඒ චෝදනා හිස් වචන පමණක් ලෙසින් අවකාශයේ තැන් තැන්වල තිබෙනු ඇතැයි කියන එකයි මගේ විශ්වාසය. මේ ලෝකය කැරකෙන්නේ ඒ විදියට බව ඔබ දන්නවා ඇති. වැඩක් කරන මනුස්සයාට සහයට සිටින්නේ එකෙක් විතරක් වෙනකොට, ඔහුට විරුද්ධව 10ක් ඉන්න එක මේ ලෝකේ කවදාවත් වෙනස් නොවෙන ඇත්තක්.

ඔබ බලවත්ව සිටි කිසි දවසක මම ඔබ වෙනුවෙන් එක අකුරක්වත් ලිව්වේ නැහැ. එදා ඔබට ප්‍රශස්ති ගැයූ, ඔබ වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා අද ඔබ සමඟ නැහැ. නමුත් අද ඔබ වෙනුවෙන් මම මගේ අකුරු වෙන් කරන්නේ බලය තිබුණත් නැතත් ඔබ මේ රටේ ජනතාව විසින් රැකගැනීමට අවශ්‍ය චරිතයක් බව මම විශ්වාස කරන නිසාමයි.

මගේ ජීවිත කාලය තව අවුරුදු 30කින් 40කින් ඉවර වෙයි. ඒ වෙද්දි මේ තියෙන තත්ත්වෙන් මේ රට ඉඳිරියට ගිහින් තියෙනවා දකින එක මගේ සිහිනයක්. මගේ ඒ සිහිනය මහපොළොවේ යථාර්ථය බවට පත්කරන්නට හැකි පුද්ගලයා ඔබ බවට මට තියෙන්නේ දැඩි විශ්වාසයක්. ඔබ මේ රටට අවශ්‍ය චරිතයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට සුබ උපන් දිනයක්. චිරං ජයතු!!!

No comments:

Post a Comment