Wednesday, June 14, 2017

අනෝරා වැස්ස පරයන කරුණාවේ පියැස්ස



මීට සුමාන දෙකකට කළින්, රටෙන් දිස්ත්‍රික්ක අටක් සහ ඒ දිස්ත්‍රික්ක අටේ වාසය කරන ලක්ෂ කීපයක ජනතාවක් විපතට පත්වුනේ පැය කීපයක කාලයක් ඇතුළේදීයි. ඒ අයහපත් කාළගුණය හේතුවෙන්. ඉතිහාසයේ සිදුවෙච්ච විශාලතම ස්වභාවික ව්‍යසනයන් කීපයෙන් එකක් වෙච්ච ඒ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතයෙන් සමුගත්ත සංඛ්‍යාව දෙසීයකට අධිකයි. සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස ගණන, හානි වූ දේපොළවල වටිනාකම්, තාම ගණන් බලලා ඉවර නැතුව ඇති. 




මේ මහා ස්ව්භාවික ව්‍යසනය එක පැත්තකින් සිදුවෙද්දි, එයින් ආපදාවට ලක්වූවන්ට සහන සැළසීම වෙනුවෙනුත් පෙරට ආවේ මේ රටේ ජනතාවම තමයි. තමන්ගේ ආහාර වේලේ ඉඳන් පරිත්‍යාග වශයෙන් ලබාදෙන්න පුළුවන් සියළුම දේවල් තමන් ඇහැටවත් දැකලා නැති ජනතාව වෙනුවෙන් මේ රටේ මිනිස්සු ලබාදුන් හැටි අපි පහුගිය කාලේ අන්තර්ජාලය සහ ප්‍රධාන මාධ්‍ය තුළින් නිරන්තරයෙන් දැක්කා. ඒක තමයි ශ්‍රී ලාංකිකයන්ගේ හැටි.



රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මූලිකත්වයෙන් රද්දොළුගම 82' Alliance සමාජය, රද්දොළුගම තුළ ක්‍රියාත්මක වෙන සියළුම සුබ සාධක සංගම් සහ අනෙකුත් සංවිධාන, රද්දොළුගම පොලීසිය යන මේ සියළුම දෙනා එක්ව මේ ආකාරයේම භාණ්ඩ එකතුකිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුනා. රද්දොළුගම නිවාස සංකීර්ණයේ සහ රද්දොළුගම අවට ගම්මානවල වාසය කරන අනෙකුත් ජනතාවත්, රුපියක් ලක්ෂ කීපයක වටිනාකමකින් යුත් වියළි ආහාර, පානීය ජලය, මෙට්ට, රෙදිපිළි, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් නිවසකට අවශ්‍ය ද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් භාර දුන්නේ මේ අභාග්‍යසම්පන්න අවස්ථාවේදී තමන්ගේ යුතුකම පැහැර නොහරිනබව මොනවට පසක් කරමින්.



දවස් 9ක කාලයක් තිස්සේ එකතු කරපු ඒ භාණ්ඩ, නායයෑමෙන් සහ ගංවතුරෙන් දැඩිලෙස විපතට පත් මාතර මොරවක කන්ද සහ කොටපොළ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් කීපයක ජනතාව වෙත බෙදාදීම සඳහා දින නියම වුනේ පසුගිය ජූනි මස 11වෙනි ඉරිදා. එදා හිමිදිරි පාන්දරම රද්දොළුගමින් පිටත් වෙන ආධාර රැගත් ලොරි රථ දෙක උදෑසන 10 පමණ සිට මොරවක කන්ද, උසමළගොඩහේන, ලිඳගාවහේන කොටපොළ උතුර, කොටපොළ දකුණ යන ප්‍රදේශවල ජනතාව වෙත තමන්ගේ සහෝදරත්වයේ ආධාර ලබාදුන්නේ ඒ ජනතාවගේ සිතට යම් හෝ සැනසිල්ලක් ගෙන දෙමින්. ඔවුන්ට නැතිවූ දේවල් මේ පරිත්‍යාගයන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ අඩුව පුරවන්න අපිට කවදාවත් බැහැ. නමුත්, මේ විපත්තිදායක අවස්ථාවේදී ඔවුන්ගේ හයියට අපිත් ඉන්නවා කියන පණිවිඩේ ඔවුන්ට මහ මෙරක්.



 
මේ මහා සමාජ සත්කාරයට නන් අයුරින් දායක වූ සියළුම දෙනාට අපේ ගෞරවණීය ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නටත් කැමතියි. ඔබේ මාහැඟි පරිත්‍යාගයන් නොවන්නට, ඒ ජනතාවට සවියක් වන්නට අපිට හැකියාවක් නොලැබෙන්නට තියෙන ඉඩ බොහොම වැඩියි.
මෙවන් විපත් යළිත් මේ රටේ සිදුවෙන්න එපා කියන එක තමයි අපි හැමෝගේම එකම පැතුම. නමුත්, කවුරුන් හෝ කෙනෙක් විපතට පත්වී සිටිනවානම්, නිසැකවම අපි ඒ අය වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරනවා. ඒක ස්ථීරයි!

No comments:

Post a Comment